රවීට, ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුවේ අනිකා විජේසූරිය සාක්ෂි ලබා දීම අරඹයි… – Saru News | සිංහල

0
2

යහපාලන සමයේ මුදල් ඇමතිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ සිදු වී තිබේ.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී ඇත.

2016 පෙබරවාරි 12 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලසීමාව තුළ මුදල් ඇමති වශයෙන් කටයුතු කළ විත්තිකාර රවී කරුණානායක විසින් අදාළ නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් යන අය අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක්” නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රවි කරුණානායකට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

එම කටයුත්තට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිවද එම කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ ‘මොනාච්’ රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සඳහා හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය මීට පෙර එනම් 2017 වසරේදී බැඳුම්කර වංචාව පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසම ඉදිරියේද සාක්ෂි දෙනු ලැබීය.

එහිදී ඇය විසින් හෙලි කළ කරුණු සම්බන්ධයෙන් එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ ඥාතියෙකු වන ශනිල් නෙත්තිකුමාර නම් පුද්ගලයෙකු විසින් ඇයට මරණීය තර්ජනද එල්ල කර තිබිණි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here