රනිල්ට අල්ලස් කොමිසමෙන් යළි කැඳවීමක්…

0
6


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ලබන සඳුදා (28) පෙනී සිටින්නැයි එම කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්දී තිබේ.
කොමිසම එම දැනුම්දීම කර ඇත්තේ, අවස්ථා දෙකකදී කළ දැනුම්දීමට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කරුණු පැහැදිලි කර ගැනීමට කොමිසම අද ඔහුට දෙවන අවස්ථාවේදීත් කැදවීම් කර තිබිණි.
එම කැදවීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ, තම නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණි පසුව කොමිසම හමුවේ කරුණු පැහැදිලි කරන බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ නිවේදනය කළේ, රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා විසින් යොමු කළ ලිපියකින් 28 වන සදුදා කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවයි.
ඒ අනුව එදින පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි වික්‍රමසිංහට අද දැනුම්දී ඇති කොමිසම එම ලිපියේ අවධාරණය කර ඇත්තේ සාධාරණ හේතුවක් නොමැතිව එදින අල්ලස් කොමිසමට නොපැමිණියහොත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ අංක 126 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩිදුරටත් දැනුම් දී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here