රනිල්ගේ ලන්ඩන් සංචාරය: ඇප ලැබීම ගැන මහේස්ත්‍රාත්ටත් ප්‍රශ්නයක්!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජ්‍ය මුදල් භාවිතා කරමින් ලන්ඩනය වෙත පෞද්ගලික සංචාරයක නියැලීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුව ඊයේ (18) යළි කැදවූ අතර එහිදී හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නගත තත්ත්වයක් මතු කර තිබේ.

ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයාගේ මාරාන්තික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සලක බලා ඇප හිමි වූ නමුත් ඊයේ දිනයේදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අධිකරණයේදී පැවසුවේ පූර්වගාමී විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු වන හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදාහැර තිබෙන අතර එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය නොවන බවත් එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නොමැති බවත්ය.

ඒ අනුව පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව තමන් නිරීක්ෂණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ.

එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවටයි හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම නඩුවට අදාළව දෙවන සැකකරු ලෙස නම් කර තිබෙන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකද රක්ෂිත බන්ධනාගාර ගතව දින 21කට පසු ඊයේ දින ඇප මත නිදහස් විය.

අදාළ නඩුව ඊයේ කැඳවමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

” මෙම නඩුවේ දෙවැනි සැකකරු වන මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනාව තමයි රාජ්‍ය නායකයා විසින් සිදුකළ බවට සැකකෙරෙන මූල්‍ය වංචාවක් අනුමත කිරීම තුළින් ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පළමු සැකකරු සිදුකළ වරදට ආධාර අනුබලදීම. මෙම නඩුවේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරු රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න තහවුරු කරගැනීමකින් තොරව, හුදෙක් පහළ නිලධාරින්ගේ තීරණ මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අනුමත කර ඇති බව පෙනීයනවා. ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස එසේ කරනවානම්, ඉන් පහළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ විශාල ගැටලුවක් පැනනගිනවා. මුදල් දුලබ කාලයක එම අනුමත කිරීම සිදුකිරීමේදී ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බැලිය යුතුව තිබුණා. එය අත්හළ නොහැකි වගකීමක්. එබැවින් මෙම සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වනවා.

කෙසේ වුවද, මෙම නඩුවේ සමස්තය පිළිබඳ අවධානය යොමුකිරීමේදී දෙවැනි සැකකරුට වඩා වැඩි වගකීමක් පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එසේ තිබියදී මෙම අධිකරණයේ පූර්වගාමි විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා. එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය වන්නේ නැහැ. එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැහැ. එම ඇප නියෝගය නිකුත් කිරීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තාද අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ වෛද්‍ය වාර්තා නොවේ. එබැවින් පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව මා නිරීක්ෂණය කරනවා.

රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වියයුතුයි. නීතිය පළමු සැකකාර ජනාධිපතිවරයාට සහ දෙවැනි සැකකාර ජනාධිපති ලේකම්වරයාට වෙනස්වන්න බැහැ. එබැවින් මෙම තත්ත්වය මෙම සැකකරුට ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. සැකකරු රුපියල් මිලියන 20ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කරනවා. ” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරන ලදී.

මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔහු මතු කළේ මෙම නඩුව සම්බන්ධයෙන් පිරිසක් සංවිධානාත්මකව සමාජයේ මානසික භීෂණයක් හදා සාක්ෂිකරුවන් සාක්ෂිදීමට නොපැමිණෙන තත්ත්වයක් ගොඩනැගීමට උත්සහ දරන බවයි.

”උසාවියේ කතා නොකරන එළියේ කතා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන නීති විශාරදයෝ ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නෛතික පියවර ගන්නවා.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අධිකරණයේ නියෝගය හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය නිල එකක්ද නැතහොත් පෞද්ගලික සංචාරයකද යන්න නිශ්චිත ලෙසම තහවුරු කර ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ප්‍රශ්නාවලියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙන ලදී.

The post රනිල්ගේ ලන්ඩන් සංචාරය: ඇප ලැබීම ගැන මහේස්ත්‍රාත්ටත් ප්‍රශ්නයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here