රන් මිල ඉතාම නොවටිනා ලෙස ඉහළ ගොස් තිබේ. එය කොතරම් නරකට ඉහළ ගියේ ද යත් මාසයක් තුළ රන් පවුමක මිල රුපියල් දෙලක්‍ෂ විසිදහසේ සිට රුපියල් තුන්ලක්‍ෂය දක්වා ඉහළ ගොස් තිබේ. 1850 දී බ්‍රිතාන්‍ය රන් පවුමක වටිනාකමත්, ලංකාවේ රුපියලේ වටිනාකමත් එකකි. අප මේ කියන්නේ රුපියල් විස්සට ඉඩම් අක්කර 10ක් මිලට ගත හැකිව තිබූ කාලයක් ගැනය. ඉන්පසු ක්‍රමයෙන් රන් මිල උච්චාවචනය වීමට පටන් ගත්තේ ය. මීට අවුරුදු 50 කට පෙර රන් පවුමක් රුපියල් 5500 කි. මීට අවුරුදු 30 කට පෙර රන් පවුමක් රුපියල් 11,000 කි. මීට අවුරුදු පහළොවකට පෙර රන් පවුමක් රුපියල් 35,000 කි. මීට අවුරුදු දහයකට පෙර රන් පවුමක් රුපියල් 65,000 කි. මේ අවුරුද්ද මුලදී රන් පවුමක් රුපියල් 195,000 කි. මේ අවුරුද්ද මැද දී රන් පවුමක් 220,000 කි. අද රන් පවුමක් රුපියල් 300,000 කි. රත්තරන් යනු කෑමට බැරි දෙයකි. මේ පිළිබඳ ග්‍රීක දේව කතාවක් තිබේ. ග්‍රීසියේ විසූ එක් රජ කෙනකුට දෙවියකු මුණගැසුණේලු. දෙවියා කැමැති ඕනෑම වරයක් ඉල්ලන ලෙස රජුට කීවේලු. රජු ඉල්ලුවේ තමන් අත තබන තබන දෙය රත්තරන් බවට පත්වීමේ වරයකි. දෙවියා අතුරුදන් වූ පසු රජතුමා තමා හිඳ සිටි පුටුව ඇල්ලුවේ ය. එය වහා රන් බවට පත් විය. ඔහු සිය බිසව අල්ලා සිප ගත්තේ ය. බිසව ද රත්තරන් ප්‍රතිමාවක් බවට පත් විය. රජු මහත් සේ සතුටු විය. සිය අන්තඃපුරය වෙත ගිය රජු එහි සිටි සියලුම සරාගී බිසෝවරු රන් බවට පත් කළහ. මේ අතර රජාට බඩගිනි ද වූයේය. හෙතෙම ආහාර පිණිස පලහන ලද කුකුල් බෑයක් අතට ගත්තේ ය. එය ද රන් බවට පත් විය. ඉන් පසු රජු මිදිවල්ලක් අතට ගත්තේ ය. එයත් රන් බවට පත් විය. රජාට තරු විසි වුණේ මෙවිට ය. මේ කතාවේ අවසාන දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් දෙවියන්ට කන්නලව් කළ රජු තමා සතු වරය අවලංගු කරගත් බවයි. දෙවැනි අවසානය වන්නේ දෙවියන් සොයාගත නොහැකි වූ බැවින් රජා නිරාහාරවම මියගිය බවයි.
මනුෂ්‍ය පැවැත්මේ දී ආහාර හා රත්තරන් සමකර බැලුවොත් රත්තරන්වල ශත පහක අගයක් නැත. සමහර විට රන් කිලෝවකට වඩා පාන් බාගයක් වටින්නේ ය. එහෙත් ලෝකයේ මිනිස්සු හැකි තරම් රත්තරන් එකතු කරති. රන් මිල ඉහළ යන්නේ එහි ඉල්ලුම වැඩි නිසා යැයි ඔබ සිතන්නේ ද? කිසිසේත්ම නැත. රන් මිල ඉහළ යන්නේ ලෝක දේශපාලනයට අනුව ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති වූවාට පසු ලෝක දේශපාලනයට මැදිහත්වෙමින් ලෝකය පුරා තිබූ යුද්ධ නවත්වන්නට පටන්ගත්තේ ය. මෙවිට ලෝක ආයුධ බිස්නස් එකට කෙළවී ගියේ ය. ව්‍යාපාර ලෝකයේ මෙවැනි සංවේදී තත්ත්වයන් හටගත් විට රත්තරන් මිල ඉහළ නගී. පසුගිය අවුරුදු විස්ස පුරාම ලෝකයේ කොහේ හෝ යුද්ධ තිබිණ. වතාවක් ඇමෙරිකානුවන් ඉරාකයට බෝම්බ දැමීමෙන් පටන් ගත් ගල්ෆ් යුද්ධය නිසා රත්තරන් නැග්ගේය. මීට අවුරුදු දහයකට, පහළොවකට පෙරත් එක් අවස්ථාවක දී ලංකාවේ රන් මිල පවුම රුපියල් 35,000 ට බැස්සේ ය. මේ නිසා උකස් බඩුකාරයෝ අන්දොස් වූහ. සමහර ෆිනෑන්ස් කොම්පැනි වහන්නට සිදු වූයේ ඔවුන් රත්තරන් බඩු විශාල වශයෙන් උකසට ගෙන තිබූ නිසා ය. රත්තරන් පවුමකට ග්‍රෑම් අටක් තිබේ. මේ ග්‍රෑම් අටේ පවුම කැරට් 22 පවුමකි. කැරට් 24 පවුම ඊට වඩා පිරිසිදු ය. ඒ නිසා කැරට් 24 ක පවුමක් රුපියල් 320,000 ක් පමණ වේ. රන් මිල ඉහළ යෑමත් සමගම හෙට්ටිවීදිය නන්නත්තාර වී ගියේ ය. පවුම රුපියල් 320,000 ගණනේ රත්තරන් ආභරණ මිලට ගැනීමට මිනිසුන් තුළ කැමැත්තක් නැත. මේ කාරණය හේතුකොට ගෙන මිනිස්සු රත්තරන් බඩු සාප්පුවලට පැමිණ රත්තරන් බඩු අතගා පමණක් යන තත්ත්වයක් හටගෙන තිබේ. අද වැඩිවියපත් දියණියට මාල පොටක් සහ කරාබු යුගලක් එකවර අරන් දීමට වැඩිහිටියන්ට නොහැක. මඟුල් ගෙදර දී දමන මාලය ඉතාම සිහින් ය. රන් මිල ඉහළ යෑම නිසා ගොඩ ආ පිරිසක් ද වෙති. ඒ වූ කලී රන් ආලේප කර ස්වර්ණාභරණ තනන කර්මාන්තකරුවෝ ය. රත්තරන් පිළිබඳ කතාව මෙසේ ය.
Saru FM Media