රට පුරාම කුඩු ෆැක්ටරි?

0
6

2025 සැප්තැම්බර් මස 14 වැනිදා ඉරිදා

මත්කුඩු කර්මාන්ත ශාලාවක් පිහිටුවීම සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් මුදල් ආයෝජනය කර ඇති බවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය සෑදීම පිණිස අවශ්‍ය අමුද්‍රව්‍ය තොගයක් ඔහු විසින් මෙරටට එවා ඇති බවත් මේ වනවිට මේ රටේ ජනතාව දැනගෙන අවසන් ය. එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එක රුපියල් පන්දහස ගණනේ පද්මේ විසින්ම මිලට ගෙන ඇති අතර ඒ ආකාරයෙන් ඔහු අයිස් කිලෝ 10 කට මුදල් ගෙවා ඇත. මේ අයිස් කර්මාන්ත ශාලාවේ ආරම්භක නිෂ්පාදනය වී ඇත්තේ අයිස් කිලෝ 14 කි. පද්මේ විසින් මිලට ගන්නා ලද ප්‍රමාණයට අමතරව ඉතිරි වූ අයිස් කිලෝ හතර තවත් පුද්ගලයකු විසින් මිලට ගෙන ඇත. ලංකාව තුළ අයිස් කම්හලක් පිහිටුවීමට පද්මේ පියවර ගත්තේ ඒවා පිටරටින් මිලට ගෙන මෙරට තුළ බෙදාහැරීමේ දී විශාල මිලක් දැරීමටත්, විවිධ අර්බුදවලට මුහුණදීමටත් සිදුවන නිසා ය. අයිස් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වර්ගයත්, වෙනත් අමුද්‍රව්‍ය ගැනත් අපි පසුගිය සතියේ දිවයින කතුවැකියකින් සාකච්ඡා කළෙමු. හෙරොයින් යනු තනිකරම කාබනික මත්ද්‍රව්‍යයකි. එම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය කරන්නේ පොපි මල්වලින් ලබාගන්නා කිරිවලින් සාදන අබිං නමැති මත්ද්‍රව්‍යයෙනි. අබිං තනිකරම කළු පාට ය. මෙය පිරිපහදු කිරීමෙන් පසුව සුදු පැහැති අවක්ෂේපයක් ඉතිරි වේ. සාමාන්‍යයෙන් අබිං කිලෝ විස්සක් පමණ පිරිපහදු කළ විට පෙර කී අවක්ෂේපයෙන් ග්‍රෑම් පන්සියයක් පමණ ලැබේ. මේ අවක්ෂේපය හෙරොයින් යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය ඉතා මිල අධික ය. මේ වනවිට වෙළෙඳපොළේ පිරිසිදු හෙරොයින් ග්‍රෑම් එකක මිල රුපියල් පනස්දහස ඉක්මවයි. ඒ නිසා කුඩුකාරයෙක් කුඩුගසන හැමවිටකම කාගේ හෝ රත්තරන් මාලයක් කැඩිය යුතුම ය. එහෙත් අයිස් යනු හෙරොයින්වලට වඩා මිලෙන් අඩු මත්ද්‍රව්‍යයකි. මෙය තනිකරම කෘත්‍රිම රසායනික ද්‍රව්‍යවලින් සාදනු ලැබේ. එබැවින් මත්ලෝලියාගේ සිරුර ඉතාම ඉක්මනින් වැහැරී ඇටසැකිල්ල පමණක් ඉතිරි වේ. සාමාන්‍යයෙන් අරක්කුවලට පුරුදු වූ බේබද්දා අඩු මිලට ලැබෙන කසිප්පු ගැසීමට කැමති ය. එහෙත් අරක්කු ගසන විට ඔහුගේ බොකුබඩවැල් අවුරුදු දහයකින් දියවේ නම් කසිප්පුකාරයාගේ බොක්ක දියවීමට ගතවන්නේ අවුරුදු පහකටත් අඩු කාලයකි. හෙරොයින් සහ අයිස් යන මත්ද්‍රව්‍ය දෙක අතර පවත්නා වෙනස මේ ආකාරය. හැබැයි කිසියම් රටක හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය නිපදවීම හෙණ ගසන අපරාධයකි.

මේ රටට පිටරටින් එන කුඩු සහ අයිස් කොපමණ ඇල්ලුවත් පරිභෝජනයෙහි අඩුවක් නැත. මෙසේ අල්ලාගන්නා කුඩු සහ අයිස් පොලිසිය විසින් නැවත වතාවක් කුඩු වෙළෙඳුන්ට විකුණන බව කියමින් පසුගිය කාලයේ දී අපි පොලිසියට බැණවැදීමට පුරුදුව සිටියෙමු. එහෙත් ඇත්තම කතාව නම් අප කාටවත් නොදැනී රට තුළ අයිස් නිෂ්පාදනාගාර බිහිවීම ය. මේ නිසා එළියෙන් එන අයිස් රේගුවේදී ඇල්ලුවත් රට තුළ අයිස් නිෂ්පාදනය වන නිසා සප්ලයි එක නොවෙනස්ව පවතී. කුඩු නිෂ්පාදනය ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ සිදුකරන රටවල් ලෝකයේ තිබේ. මෙයින් ප්‍රමුඛතාව ගන්නේ ඇෆ්ගනිස්තානය සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල් ය. ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සඳහා තලේබාන්වරුන් එරට ආණ්ඩුව සමග යුද්ධයක් කළ කාලයේ දී ආයුධ ලබා ගැනීම සඳහා මුදල් උපයා ගත්තේ පිටරටවලට කුඩු විකිණීමෙනි. මේ කුඩු සෑදීම සඳහා අවශ්‍ය පොපි මල් වගාව තලේබාන් සංවිධානයේ අනුග්‍රහයෙන් සිදුකරන ලදී. එහෙත් යුද්ධය නිමවී තලේබාන් සංවිධානය අතට බලය ලැබීමත් සමගම ඉස්ලාමීය ආගමේ නීතිරීතිවලට අනුකූල වෙමින් තලේබාන්වරු පොපි මල් වගාව, අබිං නිෂ්පාදනය සහ හෙරොයින් නිෂ්පාදනය තහනම් කළහ. ආණ්ඩුව කුඩු වැඩේ අත්හැරිය ද ඇෆ්ගනිස්තානයේ පොපි ගස් වගා කරන ගොවි ජනතාව කුඩු බිස්නස් එක අතහැරියේ නැත. කුඩු හදන අය සහ පොපි වවන අය දුටු තැන මැරීම ඇෆ්ගනිස්තානයේ නූතන සිරිත වේ. එහෙත් කුඩු ගොවි ප්‍රජාව එය ගණන් නොගෙන තම ජීවිත ඇපයට තබා කුඩු නිපදවති. එයට හේතුව වෙනත් වගාවක් කිරීමෙන් ලබාගන්නා ආදායම මෙන් ලක්‍ෂ ගුණයක ආදායමක් පොපි වගාවෙන් ලබාගත හැකි වන නිසා ය.

ලතින් ඇමෙරිකාවේ තත්ත්වය ද මෙයම ය. ලතින් ඇමෙරිකාවට අයත් කොළොම්බියාවේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය යටතේ කුඩු නිෂ්පාදනය සිදු කෙරේ. කොළොම්බියාව යනු අන්තර්ජාතික කුඩු හබ් එකකි. ලෝකයේ හැම රටකටම කොළොම්බියාවෙන් කුඩු බෙදාහරිනු ලැබේ. එහෙත් පිරිසිදු කුඩු චුට්ටක් ගැසීමට කුඩුලෝලියකුට අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. රුපියල් පනස් දහසකට ලබාගන්නා ඔරිජිනල් හෙරොයින්වලට රට හුනු කුඩු, ඩොලමයිට් කුඩු සහ පැරසිටමෝල් කුඩු එකට පස් ගුණයක් මිශ්‍ර කර විකුණනු ලැබේ. මේ නිසා හෙරොයින් ග්‍රෑම් 1ක් රුපියල් දසදහසකට පමණ ලබා ගැනීමට කුඩ්ඩන්ට පුළුවන. ඒ අනුව හෙරොයින් අන් දේවල් සමග මිශ්‍ර කර විකුණන කුඩු මුදලාලිලා අති විශාල ලාභයක් ලබති. මේ රටේ කුඩුකාරයන් මියයන්නේ සෑහෙන කලක් ගතවීමෙන් පසුවය. එයට හේතුව ඔවුන්ට පිරිසිදු කුඩු ගැසීමට අවස්ථාවක් නොලැබීම ය. හරියාකාරව අවුරුද්දක් පිරිසිදු හෙරොයින් ඇද්දොත් කුඩ්ඩා එම අවුරුද්ද අවසානයේ දී මරණයට පත්වෙයි.

දැනට අල්ලා ගැනීමට හැකි වූයේ පද්මේගේ කුඩු ෆැක්ටරිය පමණි. මීට අමතරව රටේ තවත් බොහෝ තැන්වල කුඩු ෆැක්ටරි තිබීමට ඉඩ ඇත. මෙය අලුත්ම තත්ත්වයකි. වෙනදා පොලිසියට සිදුවුණේ කුඩු තොග, කුඩු මුදලාලිලා සහ කුඩ්ඩන් සොයා මෙහෙයුම් සිදුකිරීමට ය. අද වනවිට ඒ සියල්ලට අමතරව කුඩු ෆැක්ටරි ගැන සෙවිල්ලෙන් සිටීමට ද පොලිසියට සිදුව ඇත. මෙය වඩාත් සංකීර්ණ තත්ත්වයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here