රට පැන්න පාතාලයෝ තැන තැන සැඟවෙති

0
1

වෙන වැඩවලට රට ගිය පොලිස් නිලධාරීන් දුටුවත් දුවලා හැංගෙනවාලු

ඉන්දුනීසියාවේ සැඟවී සිටි මෙරට පාතාල අපරාධකරුවන් පිරිසක් රහසිගත මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමත් සමගම විදේශවල සැඟවී සිටින පාතාල සාමාජිකයන් භීතියට පත්ව ආරක්‍ෂිත ස්ථාන සොයමින් තැන තැන යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

විදේශගතව සැඟවී සිටින පාතාල සාමාජිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් පිටත් කර හැරිය ද ඔවුන් ඒ වන විටත් සැඟවී සිටින ස්ථානවලින් පලාගොස් සිටි බව ද වීරසූරිය මහතා පවසයි.

පාතාල අපරාධකාරයන් කුමන රටක සැඟවී සිටියත් ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙනැවිත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පිටරටවල හැංගිලා ඉන්න පාතාල මැරයො කොයිතරම් භීතියට පත්වෙලා ද කියනවනම් වෙනත් රාජකාරි සඳහා විදේශගත වන පොලිස් නිලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා යැයි සිතා මොවුන් තමන් පදිංචි ස්ථාන මගහරිමින් සිටින බව වාර්තා වෙනවා යැයි ද පොලිස්පතිවරයා කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක යූ. එෆ්. වුඩ්ලර් මහතා රුසියාවේ පාඨමාලාවක් සඳහා පසුගිය දිනක රටෙන් බැහැර වූ අතර විදේශගතව සැඟවී සිටින පාතාල මැරයන් සැකකර ඇත්තේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරියා පැමිණ ඇති බවයි.

ඉන්දුනීසියාවේ සැඟවී සිටි කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් 05 දෙනකු, රොහාන් ඕලුගල මහතා විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමත් සමගම විදේශගතව සිටින පාතාල මැරයෝ මෙසේ කලබලයට පත්ව සිටිති.

එමෙන්ම පද්මේ ප්‍රමුඛ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමත් සමගම ඒ වනවිට දෛනිකව කොතැනක හෝ පාතාලය විසින් පුද්ගලයකු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ තත්ත්වය නතර වී ඇත.

මෙසේ පලායමින් සිටින පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා බව ද පොලිසිය පවසයි.

මෙම පාතාල මැරයන් පිළිබඳ සියලු තොරතුරු ජාත්‍යන්තර පොලිසිය හරහා සියලුම රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇති බව ද පොලිසිය කියා සිටියි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ඝාතනවලට සම්බන්ධ පාතාල අපරාධකරුවන් තිදෙනකු ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟවී සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ මෙම පාතාල අපරාධකාරයන් තිදෙනා මාස 08ක කාලයක් තිස්සේ බැංගලෝර් නගරයේ මහල් නිවාසයක සැඟවී සිටින බව අනාවරණය වී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉරේෂ් අසංක, දෙවුන්දර දිලිප් හර්ෂණ සහ කොටහේනේ සුගත් යන පාතාල මැරයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධකාරයන් තිදෙනා ඉදිරි දිනකදී මෙරටට ගෙනඒමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ඉන්දීය මධ්‍යම අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here