රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

0
3

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී අපේක්‍ෂිත ඉලක්කයට වඩා ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

විදේශීය ප්‍රේෂණ ඉපයීම්, සංචාරක කර්මාන්තය ඇතුළුව රටට මුදල් උත්පාදනය වන සෑම ක්ෂේත්‍රයකම ප්‍රශස්ත මට්ටමක් දැකීමට හැකියාව ඇති බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ආපදා තත්ත්වයෙන් අනතුරුව රට යළි සංවර්ධනය කිරීමේදී ආයෝජන ලබා ගැනීම සහ ඒ තුළින් නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රමෝපායන් පිළිබඳව සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අද (08) මහනුවර කලාපීය ආර්ථික සහයෝගීතා ආයතනයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ යම් රජයක් අයවැය මගින් ඇස්තමේන්තු ගත කරන බදු ආදායම උත්පාදනය කර ගැනීමට නොහැකි වුණු නමුත් වත්මන් රජයට එම ආදායමක් ඉතා කෙටි කාලයක් තුළ උත්පාදනය කර ගැනීමට හැකි වුණු බව ඒ මහතා කීවේය. රට තුළ දුෂ්කරතාවයක් පැවතිය ද අපේක්ෂිත ආදායමෙන් 110%ක වර්ධනයක් ලබා ගැනීමට ඉකුත් වර්ෂයේදී රජයට හැකියාව ලැබුණු බවද ඒ මහතා පැවසුවේය.

රජයට හිමිවන සෑම මුදලක්ම මහා භාණ්ඩාගාරයට යොමුවන බවත් ඉන් සතයක් හෝ අපතේ නොවන බව කී ඒ මහතා ජනතාවට සහන ලබාදීම කඩිනමින් සිදුවන බවත් ඉහළ ආදායමක් උත්පාදනය කර ගැනීමේ ප්‍රතිලාභ ජනතාවට ඉදිරියේදී ලැබෙන බවත් කීවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක මහතා සහ ජගත් මනුවර්ණ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රෙයේ පහසුකම් සපයන ආයතන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here