රටම හොල්ලමින් අවුරුදු ගණන් සැඟව සිටි පාතාලයන් දවස් හතෙන් ඇල්ලූ මෙහෙයුම මුල සිට අගට…

0
5

“කෝ උඹලගෙ මහ එකා. ඌ ඉන්න තැනට අපිව අරන් පලයං. නැත්නම් දන්නවනෙ උඹලට වැඩ වරදිනවා. මම ඒ.එස්.පී. රොහාන් ඕලුගල.”

මෙරට පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් පස් දෙනා ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගැනීම විදේශ රටකදී අපේ පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ සුවිශේෂීම රහසිගත මෙහෙයුම ලෙස ඉතිහාසගත වී හමාරය.

පොලිස් දෙපාර්තමේන්තුවට ඉමහත් කීර්තියක් ගෙන දුන් මේ භයානක අනතුරුදායක මෙහෙයුමට නායකත්වය දුන්නේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලය. ඔහුට මහඟු සහායක් ලබාදුන්නේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දරය.

මේ කීර්තිමත් පොලිස් නිලධාරියා ඉන්දුනීසියාවේදී සිය හසල අත්දැකීම් මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරමින් කටයුතු නොකරන්නට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අද සිටින්නේ එක්කෝ තුර්කියේය. නැත්නම් යුරෝපයේ සුපිරි රටකය.

මාෆියා කණ්ඩායම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පාතාල මිනීමරුවන්ගෙන් ගහන ජකර්තා නගරය තුළ ආයුධයක් තබා ඉඳිකටුවක්වත් නොමැතිව කරක් ගසමින් පාතාල අළුගෝසුවන් පිරිස අල්ලා ගැනීමට මේ පොලිස් නිලධාරීන් දෙදෙනා කළ වික්‍රමය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ගෙන ආවේ ඉමහත් කීර්තියකි.

මරණ සහතිකය අතේ තබාගෙන ක්‍රියාත්මක කළ මේ රහසිගත බිහිසුණු මෙහෙයුමට අඩිතාලම වැටෙන්නේ මීට මාසයකට පමණ පෙර සිටය.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස රොහාන් ඕලුගල මහතා වැඩ භාර ගැනීමෙන් පසු පාතාලය හෙල්ලෙන වැඩ කීපයක්ම ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහි බරපතළම තර්ජනය එල්ල වුණේ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලිය වෙතය. කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ මෙරට වැඩකාරයන් කීප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට හැකිවිය. ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කළ මෙහෙයුම්වලදී පද්මේගේ කල්ලියේ ප්‍රබලම අවි දෙක වන ගම්පහ පස් දේවා සහ වලස්කටා අත්අඩංගුවට ගත්විට ඔහුට එල්ලවූ මරු පහරක් විය.

කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලිඳු සහ දරුන් නැමැති පාතාල මැරයන් ලින්ටන් සිල්වාට මරණීය තර්ජන එල්ල කරන්නේ තම කල්ලියේ ප්‍රබලම සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් ඇතිවූ වෛරය නිසාය.

පද්මේගේ සමීපතම සගයන්වූ පස් දේවා සහ වලස්කටාගෙන් ප්‍රශ්න කිරීමේදී ඉතාම වැදගත් තොරතුරු රාශියක් ලබාගන්නට රොහාන් ඕලුගලට හැකි විය.

“පද්මේගේ ගෝලබාලයො ඇල්ලුවට වැඩක් නැහැ. අපිට ඕනෙ කොහොමහරි පද්මේව ගන්න. ගහක මුදුන්මුල විනාශ නොකර ගහ මරන්න බැහැ. ඒ නිසා අපි ට්‍රයි කරන්න ඕනෙ මහ එකාව ගන්න.” රොහාන් ඕලුගල සිය සහෝදර නිලධාරීන්ට කීවේය.

පත්මෙ ගැන නිවැරදිම ඔත්තුවක්

කෙහෙල්බද්දර පද්මේ සැඟවී සිටින ස්ථානය පිළිබඳ රහසිගත තොරතුරු කීපයක් ඕලුගල වෙත ලැබෙන්නේ ඔය අතරතුරදීය. සති කීපයක් තිස්සේ රොහාන් ඕලුගල පද්මේ පිළිබඳව සොයන්නට වුණේය. ඔහුගේ එකම උත්සාහය වුණේ රටේ අපරාධ ගොන්නකට වගකිවයුතු මේ මහා අපරාධකාරයා ශ්‍රී ලංකාවට ගෙන ඒමය.

කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ අතිසුඛෝපභෝගී මහල් නිවාසයක ජීවත් වන බවට තොරතුරු ඕලුගල වෙත ඒ වනවිට ලැබී තිබිණි. රටටම මහා පිලලයක් වෙමින් සිටින කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව තමන් සොයාගත් සියලු තොරතුරු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදෙන්නට රොහාන් ඕලුගල කටයුතු කළේය. ඒ වගේම මේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට ද ලබා දුන්නේය.

ඒ වනවිට අසංක කරවිට මහතාගේ මෙහෙයවීමෙන් ද පද්මේ සැඟවී සිටින ස්ථානය පිළිබඳ සෙවීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටියහ. කරවිට මහතා සොයාගෙන තිබූ තොරතුරු ඕලුගල ගෙන ආ තොරතුරු සමග සැසඳුනේය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඒ සඳහා සහභාගි වුණේය.

පද්මේ ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලන කල් ඉන්නෙ නැතිව අපේම පොලිස් ටීම් එකක් යවලා මේ සෙට් එකම ගේන්න වැඩපිළිවෙළක් යොදන්න ඕනෙ. එහෙම නැතිව අපට මේක කවදාවත් ඉවරයක් කරන්න බැහැ. ජකර්තාවලට ටීම් එකක් යවන්න ලෑස්ති කරන්න.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අසංක කරවිට මහතාට උපදෙස් දුන්නේය. කරවිට මහතා එක හඬින්ම කියා සිටියේ මෙහෙයුම සඳහා සී.අයි.ඩී. නිලධාරීන් සමග සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ද යැවිය යුතු බවය.

මෙම මෙහෙයුම ඉතාම රහසිගත ආකාරයට ක්‍රියාත්මක කළ යුතු විය. ඒ මන්ද පද්මේගේ ගෝලයන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින නිසාය.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ අල්ලාගෙන ඒමට ඉන්දුනිසියාවේ ජකර්තා නගරයට යවන පොලිස් කණ්ඩායමට නායකත්වය දීමට රොහාන් ඕලුගලගේ නම යෝජනා විය. ඊට පොලිස්පතිවරයාගේ ද පූර්ණ අනුමැතිය ලැබුණේය.

කුඩා කල සිටම අභියෝග භාර ගැනීමේ උණක් රොහාන් ඕලුගලට තිබුණේය. නොදන්නා රටකට ගොස් පාතාල ලෝකයේ කෙරුම්කාරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් මව් රටට ගෙන ඒමේ අභියෝගය රොහාන් ඕලුගල භාර ගත්තේය.

මේ රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා අසංක කරවිට රොහාන් ඕලුගල යන නිලධාරීන් අතර සාකච්ඡා වට කීපයක්ම පැවැත්විණි. මෙහෙයුම සඳහා තවත් එක් නිලධාරියකු පමණක් යෙදවීමටත් එම මෙහෙයුමේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමටත් සියලුම නිලධාරීන් වගබලා ගත්තේය. ඒ අනුව මෙහෙයුම සඳහා රොහාන් ඕලුගලගේ සහායකයා ලෙස සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර සම්බන්ධ කර ගත්තේය.

“මේ මෙහෙයුමට ලොකු ටීම් එකක් සම්බන්ධ කර ගත්තොත් තොරතුරු එළියට යන්න පුළුවන්. ඒ නිසා නිලධාරීන් දෙදෙනෙක් විතරක් මේකට ඇති අසංක කරවිට මහතා සිටියේ ඒ මතයේය.

මෙහෙයුම සඳහා යන නිලධාරීන්ට පොලිසියෙන් ලබාදෙන වියදම් දීමනාව ද ලබා නොගැනීමට කටයුතු කෙරිණි. ඒ ආකාරයට වියදම් දීමනා ලබා ගැනීමට ඕනේ නම් මේ මෙහෙයුමේ තොරතුරු තුන් වැනි පාර්ශ්වයක් අතට යෑමට ඉඩ තිබිණි.

ක්‍රෙඩිට් කාර්ඩ් පත්වලට මුදල් දමාගෙන ඒවා වියදමට රැගෙන යෑමට ඕලුගල මහතා සූදානම් කර ගත්තේය.

මෙහෙයුමට ගියේ ගෙදරටත් හොරෙන්

ජකර්තා මෙහෙයුම පිළිබඳව තම බිරිඳට හෝ නොපැවසීමට ඕලුගල මහතා වගබලා ගත්තේය. හදිසි අවශ්‍යතාවයක් සඳහා ජපානයට යන බව පවසා මෙහෙයුම පිළිබඳ සියල්ල සඟවා තැබීමට ඕලුගල මහතා මෙන්ම මහින්ද ජයසුන්දර ද කටයුතු කර තිබුණේය.

ඒ වනවිට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන් ජාත්‍යන්තර පොලිසියේ ඉන්දුනීසියා ඒජන්තවරයා සමග සම්බන්ධතා පවත්වා ගනිමින් මෙම මෙහෙයුමට අවශ්‍ය වටපිටාව සකස් කර දී තිබිණි. ඉන්දුනීසියා ජකර්තා පොලිසියේ ඉහළ නිලධාරීන් සමග ද සාකච්ඡා කර මෙහෙයුමට අවශ්‍ය සහාය ලබා ගැනීමට ඔවුන් පොරොන්දු කරවාගෙන තිබුණේය.

එමෙන්ම ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරියගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

අගෝස්තු 23 වැනිදා රොහාන් ඕලුගලටත් මහින්ද ජයසුන්දරටත් තම ජීවිතයේ සුවිශේෂී දිනයක් විය. නන්නාදුනන රටකට ගොස් නන්නාදුනන පිරිසක් සමග එක්වී රහසිගත මෙහෙයුමක් සඳහා මේ නිලධාරීන් රටින් පිටව යන්නේ අගෝස්තු 23 වැනිදා දහවල්ය.

රටින් පිටවීමට පෙර ඉන්දුනීසියාව සහ ජකර්තා නගරය පිළිබඳ සියලු තොරතුරු අන්තර්ජාලය හරහා පරීක්ෂා කර දැනුම ලබාගැනීමට රොහාන් ඕලුගල කටයුතු කර තිබුණේය.

ජාත්‍යන්තර පාතාලය සමග ගනුදෙනු කරන ආයුධ ජාවාරම්කාරයන් ව්‍යාපාරිකයන් සමග මෙන්ම මාෆියා කණ්ඩායම් සමග සමීප සබඳතා පවත්වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් ශ්‍රී ලංකාවට කුදලාගෙන ඒමේ මෙහෙයුම සඳහා මේ නිලධාරීන් ඉන්දුනීසියාව බලා යන්නේ ඇඳුම් කෑලි කීපයක් පමණක් ගමන් බෑගයක දමාගෙන නිරායුධවය.

ඉන්දුනීසියා ජකර්තා ගුවන්තොටුපළ වෙත ගුවන්යානය පැමිණෙද්දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාහනයක් පැමිණ සිටියේය. ඕලුගල සහ ජයසුන්දර නිලධාරීන් දෙදෙනා එදින කෙලින්ම ගියේ තානාපති කාර්යාලය වෙතය. ඒ වනවිට නියෝජ්‍ය තානාපතිතුමිය ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාය. මේ රහසිගත මෙහෙයුමේ තොරතුරු නියෝජ්‍ය තානාපතිතුමිය සමග සාකච්ඡා කළ ද එහි වෙනත් කිසිදු නිලධාරියකු සමග සාකච්ඡා නොකිරීමට පොලිස් නිලධාරීන් වගබලා ගත්හ. ඒ මන්දයත් තානාපති කාර්යාලයේ පවා ඇතැම් නිලධාරීන් විශ්වාසවන්ත නොවීමයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනිය පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසාදීමට ඉදිරිපත් වූවාය. එතැන් සිට පොලිස් නිලධාරීන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසියේ ඉන්දුනීසියා ඒජන්තවරයා මුණගැසීමට ගියහ. ඒ වනවිට ඔවුන් ඕලුගල සහ ජයසුන්දරගේ පැමිණීම බලාපොරොත්තුව සිටියහ. පැය කීපයක සාකච්ඡාවකින් පසුව ඔවුන් මේ මෙහෙයුමට අවශ්‍ය පරිසරය සකස් කර දීමට ඉදිරිපත් වුණේය.

ඉන්දුනීසියාවේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම එරට පොලිසියේ සහාය ලබා ගතයුතු විය. කුමන රටක අපරාධකරුවකු සිටියද ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ එරට පොලිසියට පමණය.

ජකර්තා පොලිසියේ උසස් නිලධාරීන් කීප දෙනෙකු මුණගැසී පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ රොහාන් ඕලුගල සහ ජයසුන්දර ඔවුන්ගේ ද සහාය ඒ සඳහා ලබා ගත්තේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් පිළිබඳ සියලු විස්තර ජකර්තා පොලිසියේ ඉහළ නිලධාරීන්ට ලබා දුන්නද ඔවුන්ට මේ පාතාල මැරයන් අල්ලා ගැනීමට ඒ තරම් උනන්දුවක් තිබුණේ නැත. ඒ බව හොඳින් තේරුම්ගත් රොහාන් ඕලුගල ජකර්තා පොලිසියේ පහළ නිලධාරීන් කීප දෙනෙකු සමග මිත්‍රත්වයක් ගොඩනැඟීමට කටයුතු කළේය.

ඕලුගලගෙන් ඉන්දුනීසියා පොලිසියට තෑගි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන විට රොහාන් ඕලුගල තේ පැකට් සහ සිගරැට් පැකට් කීපයක් සහ තවත් පුංචි පුංචි ත්‍යාග කීපයක් රැගෙන විත් තිබුණේය. ඒ පුංචි පුංචි ත්‍යාග ජකර්තා පොලිසියේ පහළ නිලධාරීන්ට ලබාදුන් රොහාන් ඕලුගල ඔවුන් සමග කිට්ටු සබඳතාවක් ගොඩනඟා ගත්තේය. ඉන්දුනීසියා පොලිසියේ නිලධාරීන් වැඩි වශයෙන් සිගරැට් පානයට ඇබ්බැහි වී සිටි නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ සිගරැට්වලට බෙහෙවින් ප්‍රිය කළේය.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන් ඉන්දුනීසියාවේ නිවාඩු දිනයන් නිසා මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳුදා දක්වා කල් දැමීමට පොලිස් නිලධාරීන් කටයුතු කළෝය. එරට පොලිසියේ නිලධාරීන්ට බලපෑමක් කළ නොහැකි බව තේරුම්ගත් රොහාන් ඕලුගල හා ජයසුන්දර ඔවුන් කියන දෙයකට එකඟ වී ඉදිරි වැඩපිළිවෙළ ගැන සැලසුම් සකස් කරන්න වූවෝය.

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ වැඩි දවසක් කාලය ගත නොකර තම රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු බව ඕලුගල මෙන්ම ජයසුන්දර ද හොඳින් දැන සිටියේය. අපි මෙහෙ ඇවිත් ඉන්නවා කියලා පද්මෙලාට තොරතුරු යන්න පුළුවන්. සමහර විට දැනටමත් මිනිහා දන්නවද දන්නෙ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට මේ වැඩේ ඉවරයක් කරන්න ඕනේ. කල් අරින්න ගියොත් අපට මේක කරගන්න බැරි වෙනවා.”

රොහාන් ඕලුගල සිය සගයා වූ ජයසුන්දරට කීවේය.

රොහාන් ඕලුගල සහ ජයසුන්දර ජකර්තා නගරයේ කුඩා හෝටලයක නවාතැන් ගත්හ. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් නවාතැන් ගෙන සිටින්නේ ජකර්තා මධ්‍යම පළාතේ සුපිරි මහල් නිවාසයකය. ඒ මහල් නිවාස සංකීර්ණය මෙරට හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය මෙන් දහ ගුණයක් පමණ විශාල එකකි.

රොහාන් ඕලුගල සහ ජයසුන්දර නවාතැන් ගත්තේ ජකර්තා නැගෙනහිර පළාතේ හෝටලයකය. “අපි මේ හෝටලේට වෙලා ඉන්න එක තේරුමක් නැහැ. පද්මේ ඉන්න එපාර්ට්මන්ට් එක පැත්තෙ ඇවිදලා තොරතුරු ටිකක් හොයාගමු. ඒක අපට ප්‍රයෝජනවත් වෙයි. ඕලුගල සිය සගයාට යෝජනා කළේය.

ජයසුන්දර මහතාත් ඊට කැමැත්ත පළ කළ අතර එදිනම සවස ඔවුන් දෙදෙනා ජකර්තා මධ්‍යම ප්‍රදේශයට යන්නට පිටත් වුණේය. එහෙත් කුලී රථ සඳහා ගෙවීමට ඔවුන් සතුව මුදල් තිබුණේ නැත. සියලු ගනුදෙනු ක්‍රෙඩිට් කාර්ඩ් හරහා සිදුකළ නිසා අතේ වියදමට ලොකු මුදලක් තිබුණේ නැත. කෙසේ හෝ කුලී රථ රියැදුරකු හිතවත් කරගෙන ජකර්තා මධ්‍යම ප්‍රදේශය වෙත ගිය රොහාන් ඕලුගල සහ ජයසුන්දර පද්මේ පදිංචිව සිටින සුපිරි මහල් නිවාසය අසල නතර වුණේය.

ඒ නිවාස සංකීර්ණයේ සුපිරි නිවාස දහසක් පමණ විය. ඊට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණේ පිටස්තරයන් කිසිවකුටත් එහි ඇතුළු වීමට නොහැකි වන පරිද්දෙන්ය. මහල් නිවාස සංකීර්ණයේ විශාලත්වය දුටු රොහාන් ඕලුගල මොහොතකට තිගැස්සුණේය. “අපි කොහොමද මේ එපාර්ට්මන්ට් ගොඩ අස්සේ පද්මේ ඉන්න තැන හොයා ගන්නෙ. ඕලුගල සිය සගයාට කීවේය. එහෙත් ඒ කිසිවකින් තම ආත්ම විශ්වාසය මොහොතකටවත් පලුදු කරගන්නට මේ නිලධාරීන් කටයුතු නොකළේය.

රොහාන් ඕලුගල සහ ජයසුන්දර පද්මේ පදිංචි සුපිරි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිමින් ඔවුන් පිළිබඳව විමසිලිමත්ව සිටියේ පාතාල මැරයන් පිළිබඳව කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමේ අටියෙන්ය.

එමෙන්ම තම වේෂයන් වෙනස් කරගෙන සිටීමටද මේ නිලධාරීන් දෙදෙනා වගබලා ගත්තේය. කෙසේ හෝ එදින රැය පහන් වනතුරු ඕලුගලත් ජයසුන්දරත් මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ ගත කළෝය.

ඔවුන් හරි හමන් ආහාරයක් ලබා ගත්තේ ද නැත. නින්දක් තිබුණේ ද නැත. ඒ සියල්ලටම වඩා තමන් පැමිණි භාරධුර වගකීමට මුල් තැන දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා පාතාල මැරයන් ගැන සෝදිසියෙන් සිටියේය. එහෙත් එදින පහන් වනතුරු සිටියද පද්මේ හෝ ඔහුගේ ගෝලයකු පිළිබඳව හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. ඒ වනවිට ඕලුගල සිය ඔත්තුකරුවන්ට දුරකථන ඇමතුම් දෙමින් පද්මේ ඇතුළු පාතාල මැරයන් පිළිබඳව තොරතුරු සොයාන්නට වූහ. මේ අතර රොහාන් ඕලුගල වෙත ඉතාම වැදගත් තොරතුරක් ලැබුණේය. පද්මේ සහ කොමාන්ඩෝ සාලින්ත ජකර්තා නගරයේ ශරීර අභ්‍යාස මධ්‍යස්ථානයක් වෙත දෛනිකව යන බවට ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. මොවුන් දෙදෙනා දිනපතාම යන ජිම් එක පිළිබඳ තොරතුරු ඕලුගල මහතා වෙත ලැබුණේය. පසුදා උදෑසනම සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා පද්මේ යන බව කියූ ජිම් එක සොයාගෙන ගියෝය. ජකර්තා මධ්‍යම ප්‍රදේශයේ සිට පැය භාගයක පමණ දුරක් ගොස් එක්තරා ජිම් එකක් ළඟ ඔවුන් නතර වුණේය. ඒ ජිම් එකේ භාර පුද්ගලයන්ගෙන් තොරතුරු විමසුවද ශ්‍රී ලාංකිකයන් කිසිවකුත් එහි නොපැමිණෙන බව හෙළිවිය.

දැන් මොකද කරන්නෙ මුන් දෙන්නා මේ ජිම් එකට එන්නෙ නැහැ. හැබැයි මෙච්චර දුරක් ඔවුන් දෙන්නා එයි කියලා හිතන්නත් බැහැ. එපාර්ට්මන්ට් එක කිට්ටුව ජිම් එකකට යනවා ඇත්තෙ. අපි ඒ පැත්තෙ රවුමක් ගහල බලමු. ඕලුගල මහතා සිය සගයාද සමග නැවතත් පද්මේ නවාතැන්ගෙන සිටින මහලේ නිවාස සංකීර්ණය අසලට ආවෝය. පොලිස් නිලධාරීන්ගේ ව්‍යායාමය සාර්ථක වුණේය. පද්මේ සහ සාලින්ත දෛනිකව යන ජිම් එක ඔවුන් පදිංචි සුපිරි නිවාස සංකීර්ණය ආසන්නයේ තිබී සොයා ගැනීමට හැකිවිය. පද්මේ සහ සාලින්ත දෛනිකව මේ ජිම් එකට එන බව ඕලුගල මහතා සොයාගෙන තිබුණේය. පොලිස් නිලධාරීන් දෙදෙනා මේ ජිම් එක ආසන්නයේ සැඟවී සිටිමින් තොරතුරු සොයන්නට වූහ. ජකර්තා නගරය අතිශය ජනාකීර්ණ නිසා එහි සැඟවී සිටීම පහසු විය.

දින දෙකක් තිස්සේ කකුල් කඩෙත්තුව හැදෙන තුරු රස්තියාදු වෙමින් කළ මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල එදින දහවල් වනවිට ලබා ගන්නට ඕලුගල සහ ජයසුන්දර මහත්වරුන්ට හැකි විය. කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සාලින්ත ජිම් එකේ සිට පා ගමනින් තමන් සිටින මහල් නිවාසය වෙත යන අයුරු ඕලුගල මෙන්ම ජයසුන්දර ද හොඳින් දුටුවෝය. ඔවුන් දෙදෙනා ඕලුගල පසුකර ගියද වෙස්වලාගෙන සිටි නිසා හඳුනා ගැනීමට හැකිවූවේ නැත.

කෙහෙල්බද්දර පද්මේ සහ සාලින්ත තමන් පසුකර යනවිට ඕලුගලට දැනුණේ අමුතු හැඟීමකි. එකවර ම කඩාපැන මේ පාතාල මැරයන් දෙදෙනා අල්ලා ගැනීමට තරම් ශක්තියක් ඔහුට ආරූඪ වුවද එය යටපත් කරගෙන සිටීමට ඕලුගලට සිදුවිය. ඒ මොහොතේ ඕලුගලටත් ජයසුන්දරටත් දැනුනේ අපරිමිත වූ සතුටකි. තමන් පැමිණි මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල ක්‍රමක්‍රමයෙන් ලැබෙමින් තිබෙන බව ඔවුන්ට තේරුම් ගොස් තිබුණේය. රොහාන් ඕලුගල ඒ මොහොතේම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඇමැතුමක් ලබාගත්තේය. සර් පද්මෙයි සාලින්තයි ඉන්නවා. අපි දෙන්නා හරියටම ඕන කරන තැනට ඇවිත් ඉන්නෙ.

ඒ තොරතුර ඇසීමෙන් පොලිස්පතිවරයා ද දැඩි ලෙස සතුටට පත් වුණේය. දෙන්නා කල්පනාවෙන් ඉන්න. අපි කොහොම හරි මිෂන් එකේ ඉතුරු කොටසත් කරන්න ඕනෙ. ඒ නිසා හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. පොලිස්පතිවරයා ඕලුගලට අවවාද කළේය. සර් මේ ඔපරේෂන් එක ඇද ඇද ඉන්න බැහැ. ඉක්මනටම කරන්න ඕනෙ. මේ පාතාල මැරයන්ට ආරංචි වුණොත් අපි ඇවිල්ලා ඉන්නවා කියලා උන් මාරුවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ මහන්සිය වතුරෙ යනවා සර්… අපි පුළුවන් ඉක්මනට මේක ඉවරයක් කරන්න ඕනෙ. ඕලුගලගේ යෝජනාවට පොලිස්පතිවරයා කැමැත්ත පළ කළේය. මේ සියලු තොරතුරු සොයා ගත් ඕලුගල සහ ජයසුන්දර කෙලින්ම ගියේ ජකර්තා පොලිසිය වෙතය. මෙහෙයුමට සම්බන්ධ වී සිටි පොලිස් නිලධාරීන් මුණගැසී පද්මේ ඇතුළු පාතාල මැරයන් සිටින ස්ථානය හඳුනාගත් බව ඔවුන්ට පැහැදිලි කළෝය.

තොරතුරු සියල්ල ලබාගත් ජකර්තා පොලිසිය පසුදින උදෑසනම පද්මේ පදිංචිව සිටින මහල් නිවාසය වැටලීමට පොරොන්දු වූවෝය.

ජකර්තා පොලිසිය ගැන උපරිම විශ්වාසය තැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන්ට සමුදී තමන් නවාතැන් ගෙන සිටි හෝටලය වෙත ආවේ සැහැල්ලු සිතින්ය. ඒ වනවිට දින දෙකක් තිස්සේ හරි හමන් කෑමක් නින්දක් නොමැතිව දැඩි ලෙස වෙහෙසට පත්වී සිටි ඕලුගලත් ජයසුන්දරත් හෝටලයට ආවේ නිදි සුව විඳින බලාපොරොත්තුවෙන් යුතුවය. එහෙත් එදින රැය පහන් වන තුරු ඕලුගල මහතාට නින්දක් නොවීය. මට ලොකු බයක් දැනෙනවා අපි ඉන්න තොරතුරු පද්මෙලා අතට යයි කියලා. දෙන්නා එතනින් මාරුවෙලා ගියොත් වැඩක් නැහැ. අපේ මහන්සිය වතුරෙ යනවා. මේ මිෂන් එක වැරදුණොත් ඒක මහා පාඩුවක්. මම හිස් අතින් ලංකාවට යන්න හිතාගෙන ආවේ නැහැ. කොයි ලෝකෙ හරි කරක් ගහල මුන් දෙන්නව ගන්නවා. රොහාන් ඕලුගල නිදි වර්ජිතව රැය පහන් කරමින් සිය සගයාට කීවේය. ඕලුගලගේ හිස යකාගේ කම්මල මෙන් විය. ජකර්තා පොලිසියේ ඇතැම් නිලධාරීන් දූෂිත පුද්ගලයන් බව රොහාන් ඕලුගල හොඳාකාරවම දැන සිටියේය. කෙහෙල්බද්දර පද්මේ සතුව ඕනෑ තරම් මුදල් තිබෙන බව ද පොලිස් නිලධාරීන් දෙදෙනා දැන සිටියේය. ජකර්තා පොලිසියේ දූෂිත නිලධාරීන් මුදලට ගෙන හොර රහසේම පලා ගියහොත් අපට හිස් අතින් ආපසු යෑමට සිදුවනු ඇත්තේය. එදින ද නිදි වර්ජිතව රැය පහන් කළ රොහාන් ඕලුගල සහ ජයසුන්දර පසුදා උදෑසනම ජකර්තා පොලිසිය වෙත යන්නේ නැවුම් බලාපොරොත්තු සිතේ රඳවාගෙනය.

පෙර දින පාතාල මැරයන් පිළිබඳ සියලු තොරතුරු ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු දේ සපයා දී තිබියදීත් ජකර්තා පොලිසිය කටයුතු කළේ ඉතාම අලස ස්වභාවයකින් යුතුවය. තවදුරටත් කටවහගෙන සිටීම නුවණට හුරු නැති බව තේරුම් ගත් රොහාන් ඕලුගල ජකර්තා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් මේ ගැන විමසුවේය. “ඔයාල දුන්න ඉන්ෆොමේෂන් අපි ඉහළට දැනුම් දුන්නා. මේ අයව ඇරස්ට් කරන්න අපට තාම ඉහළින් නියෝග ආවෙ නැහැ. එහෙම නියෝගයක් එනකල් අපට මොකුත් කරන්න බැහැ. ඒ කතාව ඇසීමෙන් රොහාන් ඕලුගලට පාලනය කරගත නොහැකි ආකාරයේ කෝපයක් ඇති වුණේය. ඒ සමගම ඔහුගේ සිතට දැනුණේ දුකකි. තමන් පිටස්තර රටක තනි වුණා සේ හැඟීමක් ඕලුගලගේ සිතට දැනෙන්නට විය. ඒ සියල්ල නොපෙන්වූ රොහාන් ඕලුගල ඉදිරි පියවර ගැන ඔවුන් සමග සාකච්ඡා කළේය. ඒ අතරතුර රොහාන් ඕලුගල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ද ඇමතුමක් ලබා ගත්තේය.

“සර් පද්මෙ ඉන්න තැන සේරම ඉන්ෆොමේෂන් ටික මෙයාලට දුන්නා. ඒත් එයාලා ඒක ගැන වැඩි සැලකිල්ලක් නැහැ. ඉහළින් ඕඩර්ස් ආවෙ නැහැ කියනවා. මෙහෙම ගියොත් පද්මෙලා පනින්න පුළුවන්. මේකට මොනවා හරි කරන්න සර්…”

රොහාන් ඕලුගලගේ ඉල්ලීමට වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා ඉන්දුනීසියාවේ ජකර්තා පොලිසියට සහ ජාත්‍යන්තර පොලිසියේ ඒජන්තවරයාට ඒ මොහොතේම ඇමතුම් ලබාගත්තේය. ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කරදුන් පොලිස්පතිවරයා පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කළේය. පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් පසු ජකර්තා පොලිසිය ක්‍රියාත්මක වූහ. ජකර්තා සෙන්ට්‍රල් ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාසය වැටලීමට පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම සූදානම් වූවෝය. ඊට නිලධාරීන් දොළොස් දෙනකු ඇතුළත්ව සිටියහ. මේ කණ්ඩායමට නායකත්වය දුන් පොලිස් නිලධාරියා රොහාන් ඕලුගලට කථා කළේය.

අපි මේ ඔපරේෂන් එක කරනවා. ඔයාලා ඒකට සම්බන්ධ වෙන්න එපා. අපි මේ අන්ඩවර්ල්ඩ් ලීඩර්ව ඇරස්ට් කරලා ඔයාල දැනුවත් කරන්නම්” පොලිස් ප්‍රධානියා කීවේය. ජකර්තා මෙට්‍රෝ පොලිසියේ නිලධාරීන් විශ්වාස කරනවා හැරෙන්නට කළයුතු වෙනත් යමක් නොවීය. මෙහෙයුමේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙට්‍රෝ ජයා පොලිසිය වෙත භාරදුන් රොහාන් ඕලුගල සහ ජයසුන්දර තමන් නවාතැන් ගෙන සිටි කාමරය වෙත ආවේ දෙගිඩියාවෙන් යුතුවය. පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්නා තුරු ඔවුන් තුළ ඒ ගැන කිසිදු විශ්වාසයක් ඇතිවී තිබුණේ නැත. කෙහෙල්බද්දර පද්මේ සතුව අතිවිශාල ධනයක් තිබුණේය. පද්මේ ඇතුළු පාතාල මැරයන් ජකර්තා පොලිස් කණ්ඩායම බැලන්ස් කර ගනීවිය යන සැකය ඕලුගල මහතාගේ සිත තුළ නලියන්නට විය. එහෙත් කළ යුතු යමක් නොවීය. සිදුවන්නේ කුමක්දැයි බලාගෙන සිටීමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා තීරණය කළහ.

මෙහෙයුම ක්‍රියාත්මක කර පැය කීපයකට පසු ඊට නායකත්වය දුන් පොලිස් නිලධාරියාගෙන් ඕලුගලට ඇමතුමක් ලැබුණේය. ඔපරේෂන් එක අවුල් වුණා. අපි යන්න පැය කීපයකට ඉස්සර පද්මේ ඇතුළු කල්ලිය පැනලා ගිහින්… පොලිස් ප්‍රධානියා මේ කථාව කියාගෙන යද්දී රොහාන් ඕලුගලට අසූහාර දාහට නැග්ගේය. එහෙත් හිතට ආ කෝපය පාලනය කරගත් ඕලුගල ජකර්තා පොලිසියේ නිලධාරියා සමග කථා කළේය.

අපි කොයි තරම් මහන්සිවෙලා ද මේ සෙට් එක ගැන තොරතුරු සොයා ගත්තෙ. දවස් ගණනක් පාරවල්වල දුක් වින්දා. ඕගොල්ලන්ට මේ ටික කරලා දෙන්න බැරි වුණා. ඇත්තටම අපට හරි කනගාටුයි මේ වෙච්ච වැඩේට.

ඕලුගල මෙට්‍රෝ ජයා පොලිසියේ නිලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළේය. රොහාන් ඕලුගල සහ ජයසුන්දර ඒ මොහොතේම ජකර්තා පොලිසිය වෙත ගියහ. ඒ වනවිට මෙහෙයුමට එක්ව සිටි නිලධාරීන්ද එහි පැමිණ සිටියෝය.

රොහාන් ඕලුගල දැඩි ආවේගයෙන් යුතුව කථා කළේය. ඇයි ඔයාල මෙහෙම කළේ. පද්මේ ගැන මෙතරම් විස්තර දීලා තියෙද්දිත් ඔයාලා කල් අරගත්තා ඔපරේෂන් එක ක්‍රියාත්මක කරන්න. ඒ වාසිය අරන් එයාලා මාරු වුණා. මේ පාතාල සෙට් එක නැතිව මම ආපහු ලංකාවට යන්නෙ නැහැ. ඒ නිසා මෙයාලව ඇරස්ට් කරන්න අපට උදව් කරන්න.”

දැඩි ලෙස කම්පනයට පත්ව සිටි රොහාන් ඕලුගල ජකර්තා පොලිස් නිලධාරීන්ට කීවේය. ඔහු ඒ මොහොතේම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට කථා කර ඇතිවී තිබෙන තත්ත්වය ගැන පැහැදිලි කළේය. ඇතිවී තිබෙන තත්ත්වය තේරුම් ගත් ප්‍රියන්ත වීරසූරිය මහතා නැවතත් ඉන්දුනීසියාවේ ජකර්තා පොලිසියේ උසස් නිලධාරීන් සමග සාකච්ඡා කළේය.

පැනගිය පාතාලයින් සොයා නැවත මෙහෙයුමක්

එහි ප්‍රතිඵලයක් ලෙස පලා ගිය පාතාල මැරයන් සොයා නැවත මෙහෙයුමක් කිරීමට ජකර්තා පොලිසිය කැමති කරවා ගන්නට පොලිස්පතිවරයාට හැකි විය. රොහාන් ඕලුගල සහ ජකර්තා පොලිසියේ නිලධාරීන් මුලින්ම කළේ සුපිරි නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමය. සීසීටීවී පද්ධතිය පරීක්ෂා කිරීමේදී කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සාලින්ත සහ පානදුරේ කුඩු නිලංග සිය ගමන් මලු ද රැගෙන පලා යන ආකාරය සටහන් වී තිබිණි.

පසුව ජකර්තා පොලිසිය මුළු නගරයේම සීසීටීවී දර්ශන පරීක්ෂා කරන්නට වූහ. මෙරට මෙන් නොව එරට පැවතියේ ඉතාම දියුණු සීසීටීවී තාක්ෂණයකි.

පද්මේ ඇතුළු පාතාල මැරයන් පලා ගිය මාර්ගය නිවැරදිව හඳුනාගත් ජකර්තා පොලිස් කණ්ඩායම ඔවුන් ලුහුබඳින්නට සූදානම් වූහ. එවර මේ මෙහෙයුම සඳහා තමන් අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බව රොහාන් ඕලුගල මෙන්ම ජයසුන්දර ද ජකර්තා පොලිස් නිලධාරීන්ට අවධාරණය කර සිටියහ. ඔවුන් ද එවර ශ්‍රී ලංකාවෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාවද එක් කරගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කැමති වූහ. සීසීටීවී පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ පද්මේ ඇතුළු මැරයන් ජකර්තා මධ්‍යම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 70 ක් දුර ගමන් කර ඇති බවය. ඔවුන් කුලී රථ 05 ක් මාරුකරමින් මේ ගමන ගොස් ඇති බවද ජකර්තා පොලිසිය හෙළි කර ගත්තේය. එහෙත් අවසානයේ හෙළිවූයේ පද්මේ ඇතුළු මැර පිරිස පොලිසිය නොමඟ යැවීම සඳහා මේ ආකාරයට කුලී රථ මාරු කරමින් දිගු දුරක් ගොස් ඇති බවය. අවසානයේ මේ පාතාල කල්ලිය තමන් මුලින් ම සිටි මහල් නිවාසය ආසන්නයේම පිහිටි වෙනත් මහල් නිවාස සංකීර්ණයකට පැමිණ සිටින බව පොලිසිය හෙළි කර ගත්තේ ඔවුන්ගේ දියුණු සී.සී.ටී.වී. තාක්ෂණය ආධාරයෙන්ය.

පද්මේ ඇතුළු මැරයන් අවසානයේ නවාතැන් ගත් මහල් නිවාස සංකීර්ණය සොයාගත් පොලිසිය එය වැටලීමට සූදානම් වූවෝය. ඒ වනවිට පොලිසිය පද්මේගේ ජංගම දුරකථන වාර්තා ද ලබාගත්හ. ඒ ජංගම දුරකථනය වෙත තවත් ජංගම දුරකථන 05 ක් සම්බන්ධවී සිටින බවද ජකර්තා පොලිසිය හෙළි කරගත්හ.

ඒ වනවිට මේ පාතාල මැරයන්ගේ සියලු ඡායාරූප මෙන්ම ඔවුන්ගේ සියලු තොරතුරු එරට පොලිසියේ වැටලීම් කණ්ඩායම් වෙත ලබාදීමට ඕලුගල මහතා කටයුතු කළේය. පොලිස් කණ්ඩායම පද්මේ ඇතුළු මැරයන් පැමිණි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණියේය. ඒ මහල් නිවාස සංකීර්ණය ද අතිවිශාල එකක් විය. එහි සුපිරි නිවාස දහස් ගණනක් විය.

“අපි කොහොමද මේ දහස් ගාණක් ගෙවල් අතරේ මේ පාතාල සෙට් එක හොයා ගන්නෙ.” රොහාන් ඕලුගල සිය සගයා වූ ජයසුන්දරට කීවේය.

ඕගොල්ලො වාහනයට වෙලා ඉන්න. අපි ඇතුළට ගිහින් චෙක් කරන්නම්. මොකද ඒගොල්ලො දැක්කොත් මේ පාතාල සෙට් එක මාරු වෙන්න පුළුවන්. ජකර්තා පොලිස් කණ්ඩායමට නායකත්වය දුන් නිලධාරීන් ඕලුගලට කීවේය. පොලිස් කණ්ඩායම සුපිරි මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වුණේය.

රොහාන් ඕලුගලගේ සහ ජයසුන්දර ගේ වාසනාව තවදුරටත් ඔවුන් සතුව තිබිණි. පොලිස් කණ්ඩායම මහල් නිවාස සංකීර්ණය වෙත ඇතුළු වෙනවාත් සමගම බැකෝ සමන් එහි පහළ මාලයේ සිටිනු දුටුවෝය. ජකර්තා පොලිස් කණ්ඩායම බැකෝ සමන් හඳුනාගෙන ඔහු ඒ මොහොතේම අත්අඩංගුවට ගත්හ.

ඒ සමගම කොමාන්ඩෝ සලින්ත ද මහල් නිවාසය පහළ මාලය වෙත පැමිණෙනු දුටු පොලිස් කණ්ඩායම ඔහු ද වහාම අත්අඩංගුවට ගත්තෝය.

පාතාල මැරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව දැනගත් රොහාන් ඕලුගලට සහ ජයසුන්දරට දැනුණේ දරාගත නොහැකි සතුටකි. තමන් දින ගණනක් තිස්සේ කළ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල ලැබෙන බව දැනීමෙන් ඔවුන් මහත් සේ සතුටු වූවෝය.

“කෝ උඹලගෙ මහ එකා. ඌ ඉන්න තැනට අපිව අරන් පලයං. නැත්නම් දන්නවනෙ උඹලට වැඩ වරදිනවා. මම ඒ.එස්.පී. රොහාන් ඕලුගල.” ඕලුගල මහතා කොමාන්ඩෝ සාලින්තගේ බෙල්ලෙන් අල්ලාගෙන ඔහුට තරවටු කළේය. ඒ වනවිට සාලින්ත සිටියේ දියෙන් ගොඩගත් මත්ස්‍යයකු ලෙස ගැහෙමින්ය. කොමාන්ඩෝ සාලින්ත ඕලුගල ඇතුළු නිලධාරීන් කැඳවාගෙන පද්මේ රැඳී සිටින මහල් නිවාසය වෙත ගියේය. ඕලුගල ජයසුන්දර සහ ජකර්තා පොලිසියේ නිලධාරීන් මහල් නිවාසය වෙත එකවරම කඩා පැන්නෝය.

ඕලුගල මහතා දුටු සැනින් පද්මේ අන්දුන් කුන්දුන් වුණේය. කුඩු නිලංග සහ තැබිලි ලහිරු ද ඒ වනවිට මහල් නිවාසයේ රැඳී සිටියහ. ඔවුන් සියල්ල භීතියට පත්ව තුෂ්නිම්භූතව බලා සිටියහ. පොලිස් නිලධාරීන් මහල් නිවාසයට කඩා පනිද්දී කෙහෙල්බද්දර පද්මේ රාත්‍රි ආහාරයට මස් සහ සොසේජස් පිළියෙල කරමින් සිටියේය. බැකෝ සමන් ගේ බිරිඳ සහ තුන් හැවිරිදි දියණිය ද ඔවුන් අතර වූහ.

මේ පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට පත්වූ පසු භීතියට පත්ව ඔවුන්ට සුළු දිය පහ වූ බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කර තිබුණ ද එවැනි සිදුවීමක් එතන සිදුවී තිබුණේ නැත. මිනී මරමින් කුඩු ජාවාරම්වල යෙදෙමින් මහා අපරාධකාරයකුව සිටි කෙහෙල්බද්දර පද්මේ වෙත ගොස් රොහාන් ඕලුගල කතා කළේය.

“මම තමයි රොහාන් ඕලුගල කියන්නෙ. අහලා ඇතිනෙ පොලිස් නිලධාරීන්ට පාර්ට් දාන චන්ඩියා කවුද කියලා බලන්න තමයි අපි ආවෙ” ඕලුගල මහතා පද්මේට කීවේය. අපි සර් ගැන හොඳට දන්නවා. සර් ජකර්තාවලට ආව කියල දැන ගත්ත ගමන් තමයි අපි එපාර්ට්මන්ට් මාරු කළේ. අපිට ලංකාවෙන්ම තොරතුරු ආවා සර් මෙහෙට බැස්සා කියලා.

අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ සර්ලා අපිව අල්ල ගනියි කියලා. මේ රට ලංකාව වගේ 29 ගුණයක් ලොකුයි. මහා සෙනඟක් ඉන්න සිටි එකක් මේක. ශ්‍රී ලංකාවෙදි අහු වුණත් මෙහෙදි අපි අහුවෙයි කියලා හිතුවෙ නැහැ. හැබැයි තව දවස් දෙකක් පරක්කු වුණානම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න වෙන්නෙ නැහැ. අපි තුර්කියට යන්න සේරම ලෑස්ති කරන් හිටියෙ. ඒත් සර්ලා අපිට කලින් ඉස්සර වුණා දැන් කරන්න දෙයක් නැහැ.” පද්මේ ගිරවකු මෙන් සියල්ල කියාගෙන ගියේය. ඒ වනවිට කොමාන්ඩෝ සලින්ත සිටියේ පද්මේ කෙරෙහි දැඩි කෝපයකින් යුතුවය. මම උඹට කිව්වා පොලිසියෙ අයට බනින කොට මෙහෙම වෙයි කියලා.

මං කියන දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නැහැ. දැන් කාපන් පරිප්පු ලංකාවට ගිහින් කොමාන්ඩෝ සලින්ත පද්මෙට බැණ වැදුණේය.

සර් අපි රටවල් 20 ක විතර ඉඳලා තියෙනවා. හැංගිලා ඉන්න හොඳම රට මේක තමයි. ඒත් සර්ලා අපට වැඩිය දක්ෂයි. සූක්ෂමයි. ඒ නිසා තමයි අපි අහුවුණේ. පද්මේ දැඩි කලකිරුණු ස්වරූපයකින් කීවේය.

ජකර්තා පොලිසිය මේ අපරාධකාරයන් වෙනුවෙන් දැඩි පියවර අනුගමනය කළෝය. පද්මේ ඇතුළු පාතාල මැරයන් පස්දෙනා දණ ගස්සවා ඔවුන්ගේ දෑත්වලට විලංගු දැමුවෝය. ඒ මොහොත්ත් පද්මේ සහ සාලින්ත ජකර්තා පොලිසියේ නිලධාරීන් තමන් වෙත නම්මවා ගන්නට අවස්ථා කීපයකදීම උත්සාහ ගත්තේ ඕලුගල මහතාට නොදැනෙන්නටය. පද්මේ තමන්ට බේරී යෑම වෙනුවෙන් රුපියල් කෝටි 10ක් ඒ මොහොතේම ඉන්දුනීසියා පොලිස් කණ්ඩායමට ලබාදීමට උත්සාහ කළේය. රොහාන් ඕලුගල සහ ජයසුන්දර නොසිටින්නට බොහෝ දේ ජකර්තාවල සිදුවීමට ඉඩ තිබිණි. සමහර විට මේ පාතාල මැරයන් නිරුපද්දිතව තුර්කියෙන් මතුවීමට ද ඉඩ තිබිණි.

අත්අඩංගුවට ගත් පාතාල මැරයන් පිළිබඳවත් ඔවුන් සිදු කළ මහා දරුණු අපරාධ පිළිබඳවත් රොහාන් ඕලුගල ජකර්තා පොලිසියේ නිලධාරීන් දැනුවත් කළේය.

ඒ නිසාම ජකර්තා පොලිසියේ නිලධාරීන් පද්මේ ඇතුළු මැරයන්ට දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබුණේය. ඔවුන්ගේ දෑත්වලට පමණක් නොව දෙපාවලට පවා මාංචු දැමීමට ජකර්තා පොලිස් නිලධාරීන් කටයුතු කළහ. වැසිකිලියට ගෙන යෑම පවා නොකර ඒ සියලු කටයුතු ඔවුන් රඳවා සිටි සිර මැදිරිය තුළම කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබුණේය.

ඒ කාර්ය පොලිසියේ නිලධාරීන් පද්මේ ඇතුළු මැරයන්ට දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තද රොහාන් ඕලුගල ඔවුන්ගේ සුවදුක් සොයා බලමින් ඔවුන් සමග සමීප වීමට උත්සාහ කළේය. ඒ ක්‍රමවේදය සාර්ථක වුණේය. පද්මේ ඇතුළු මැරයන්ගේ ආහාරපාන ගැන මෙන්ම ඔවුන්ගේ ශරීර අවශ්‍යතා ගැන ද ඕලුගල සොයා බැලුවේය. ඕලුගලට අවශ්‍යවී තිබුණේ මේ පාතාල මැරයන් කලබල කර නොගෙන සොයාගෙන සූක්ෂමව මව් රටට ගෙන ඒමටය.

පාතාලය මඩින්න පද්මෙගෙන් පොරොන්දුවක්

ජකර්තා පොලිසියේ සිටියදී පද්මේ බොහෝ දේ ඕලුගල සමග කීවේය. සර් දැන් ඉතින් මට කිසිම ගැලවීමක් නැති බව මං හොඳටම දන්නවා. හැබැයි මම මට ඕනෙ ටාගර්ට් එකට ගියා. මගේ තාත්තා මරපු ගණේමුල්ලේ සංජීවගෙනුයි පස් පොඩ්ඩගෙනුයි මම පලි ගත්තා. මට ඒ ඇති. මට ආයෙ කවදාවත් එළියට එන්න බැරි බව මං දන්නවා. ලංකාවෙ පාතාලෙ නැති කරන්න ඕන හැම තොරතුරක්ම මම සර්ට දෙන්නම්. මේක ඉවරයක් කරලා දාන්න.”

පද්මේ මේ සියල්ල කීවේ හදවතින්ද නැද්ද යන්න දන්නේ පද්මේ පමණි. මෙහෙයුම සාර්ථක වීම ගැන රොහාන් ඕලුගල ඒ මොහොතේම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටත් දැනුවත් කළේය. ඒ ගැන උසස් පොලිස් නිලධාරීන්ද දැඩි ලෙස සතුටට පත් වුණේය.

“සර් අපි ආවෙ කෙහෙල්බද්දර පද්මෙව ඇරස්ට් කරන්න. ඒත් අන්තිමේදී අපිට ඕන කරන මිනීමරුවෝ පස්දෙනෙක්ම ගන්න පුළුවන් වුණා. අපිට බෝනස් එකක් වැදුණෙ” ඕලුගල පොලිස්පතිවරයාට කීවේය.

ඒ වනවිට ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ දැඩි කලබලකාරී තත්ත්වයක් උද්ගත වෙමින් තිබුණේය. දහස් ගණන් කලහකාරී පිරිස් වීදි බැස එරට රජයට විරුද්ධව කැරලි ගසමින් සිටියහ.

පද්මේ ඇතුළු පාතාල මැරයන් පස්දෙනා 28 වැනි ඉරු දින ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන සිටියහ. කලින් එන්නට ගුවන් ගමන් පහසුකම් නොවීමත් පාතාල මැරයන්ට තාවකාලික විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීමට සිදුවීමත් නිසා ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබුණේ ඉරිදා දිනයේය. එහෙත් ඒ වනවිට ජකර්තා නගරයේ කලබලකාරී තත්ත්වය එන්න එන්නම උස්සන්න වෙමින් තිබුණේය. කැරලිකරුවන් රජයේ පොදු දේපළවලට පහරදී ගිනි තබා විනාශ කරමින් සිටියේය. ඔවුන් ජකර්තා පොලිසියටද ප්‍රහාරයක් එල්ල කළහ. පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර කැරලිකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.

ඒ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කර තිබුණේය. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරීම ඕලුගල සහ ජයසුන්දර තව තවත් අපහසුතාවට ලක් කරන්නට විය. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා ජකර්තා පොලිසිය දුමෙන් වැසී ගොස් තිබුණේය. මේ අතර පද්මේ, සලින්ත ඇතුළු මැරයන් කෑගසන්න වුණේ තමන් වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස ඉල්ලමින්ය.

“අපිව කොහොම හරි ගෙනියන්න මෙතන ඉන්න බැහැ අමාරුයි.”

පාතාල මැරයන්ගේ අරමුණ වී තිබුණේ වෙනත් ස්ථානයකට ඔවුන් රැගෙන ගිය හොත් ඒ අතරතුර කෙසේ හෝ අත්අඩංගුවෙන් මිදී පළා යෑමටය. රොහාන් ඕලුගල ඊට තදින් විරුද්ධ වුණේය. පාතාලයන්ගේ සැලසුම ඒ වනවිට දැනගෙන සිටි ඕලුගල සහ ජයසුන්දර ඔවුන් වෙනත් තැනකට රැගෙන යෑම නතර කරගත්හ.

මේ අතර රොහාන් ඕලුගල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඇමතුමක් ගෙන ජකර්තා නගරයේ ඇතිවෙමින් තිබෙන බරපතළ තත්ත්වය පැහැදිලි කළේය. “සර් අපිට ඉරිදා වෙනකල් ඉන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. පුළුවන් ඉක්මනට අපිව මෙහෙන් ගන්න ක්‍රමයක් හදන්න” ජකර්තා නගරයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන පොලිස්පතිවරයා ඒ වනවිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැනුවත් කර තිබුණේය. තත්ත්වය තේරුම් ගෙන සිටි ජනාධිපතිවරයා වහාම සාකච්ඡාවකට කැඳවා මේ පාතාල නායකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. අවසානයේ ජනාධිපතිවරයා ගේ මැදිහත්වීම මත ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක ආසන වෙන් කරවාගෙන පද්මේ ඇතුළු පාතාල මැරයන් සෙනසුරාදා වන විට (30 වැනිදා) ගෙන ඒමට අවශ්‍ය පියවර ගත්තේය.

ජනාධිපතිතුමා අවස්ථා කීපයකදීම ජකර්තා නගරයේ සිටි රොහාන් ඕලුගලට දුරකථනයෙන් කථා කළේය. ඇතැම් ඇමතුම් අලුයම 2ට 3ටත් ගෙන තිබුණේය.

ජනාධිපතිතුමා මේකට එවෙලාවෙම මැදිහත් නොවෙන්න සමහර විට අපට මේ පාතාල මැරයො ටික ගේන්න වෙන එක අවිනිශ්චිත තත්ත්වයක තිබුණේ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා සර් අතට ගත්ත එක කටට දාගන්න බැරිවෙයි. මේ පාතාල මැරයො ටික ගේන්න බැරි වුණොත් කියලා. මේ සියලු ගැටලුකාරී තත්ත්වයන් මැද පද්මේ ඇතුළු මැරයන් 30 වැනිදා ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් විය. ජකර්තා පොලිසියේ නිලධාරීන් 12 දෙනකු ද ආරක්ෂාව ලබාදීම සඳහා එක්ව සිටියහ. ඒ වනවිට සී.අයි.ඩී. නිලධාරීන් 5 දෙනකු ද ජකර්තා නගරයට පැමිණ සිටියහ. පාතාල මැරයන් පිරිස ගුවන් යානයේදී යම් කලබැගෑනියක් කළහොත් ඇති විය හැකි තත්ත්වය දරුණු නිසා ඔවුන් රැගෙන ඒම විශාල අභියෝගයක් විය. එහෙත් ඒ අභියෝගය භාරගත් රොහාන් ඕලුගල පාතාලයන් පිරිස රැගෙන ඒමට පිටත් වූහ. මේ අතර පද්මේ මෙන්ම සාලින්ත ද ඕලුගල මහතාගෙන් එක් ඉල්ලීමක් කළේය.

“සර් අපිව ලංකාවට ගෙනියද්දී මුහුණ වහලා ගෙනියන්න එපා. දැන් අපිව මුළු ලංකාවම දන්නවනෙ. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවලට දාන්න වෙන්නෙත් නැහැනෙ. ඔවුන්ගේ එකම ඉල්ලීමට ඕලුගල මහතා අවස්ථාව ලබාදුන්නේය.

ගුවන් යානය පිටුපස කොටසේ අපරාධකාරයන් සඳහා අසුන් වෙන් කර තිබිණි. ඔවුන්ගේ දෑත්වලට විලංගු දමා කිසිවකුටත් නොදැනෙන ආකාරයට ගුවන් යානය තුළ රැගෙන ඒමට අවශ්‍ය කටයුතු ඕලුගල විසින් සම්පාදනය කළේය. ඒ අනුව කිසිදු කරදරයකින් තොරව මේ මැරයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන ඒමට රොහාන් ඕලුගලට හැකි වුණේය.

යානය කටුනායක ගුවන් තොටුපළේ ගොඩබැසීමත් සමගම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ඕලුගලට ඇමතුමක් ලබා ගත්තේය. ඕලු ඒගොල්ලන්ව පිළිගන්න පුංචි උත්සවයක් ලෑස්ති කරලා තියෙන්නෙ ඒ නිසා බ්ලේසර් එකක් ඇඳගෙන බහින්න… ඒ මොහොතේ කෝට් එකක් සොයාගැනීම අපහසු විය. ඕලුගල ගුවන් යානයේ සේවකයකුගෙන් කෝට් එකක් ඉල්ලා ගෙන එය ඇඟලා බැලුවේය. මේ දෙස බලා සිටි කොමාන්ඩෝ සලින්ත හඬ අවදි කළේය.

“සර් ඔය කෝට් එක සර්ට ගැළපෙන්නෙ නැහැ. සර් ඔය ටීෂර්ට් එකයි ඩෙනිමයි ඇඳලා යන්න ඒක ලස්සනයි. තමන් කුදලාගෙන යන පාතාල අපරාධකරු ඒ ආකාරයට හැසිරේවි යැයි ඕලුගලට සිතා ගැනීමට නොහැකි විය.

ඕලුගල හෝ ජකර්තා සිට පැමිණි නිලධාරීන් බලාපොරොත්තු නොවූ ආකාරයේ පිළිගැනීමක් ගුවන් තොටුපළේ සූදානම් කර තිබුණේය. විෂය භාර ඇමැති ආනන්ද විජේපාල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එහි පැමිණ සිටියහ.

පාතාලයේ දරුණු ගණයේ මැරයන් එකකු දෙන්නකු නොව පස් දෙනකුම එකවර කුදලාගෙන ඒමට හැකි වීම පොලිස් දෙපාර්තමේන්තුවට හිමිවූ අතිවිශාල කීර්තියක් විය.

මරණ සහතිකය අතේ තබාගෙන නොදන්නා රටකට ගොස් නොදන්නා ජන සමාජයක සිටි මිනී මරුවන් කණ්ඩායමක් කුදලා ගෙන ඒම සැබැවින්ම වීර ක්‍රියාවකි. තම ජීවිත ගැන පවා මායිම් නොකර පොලිසියේ ගෞරව කීර්තිය වෙනුවෙන් කටයුතු කළ රොහාන් ඕලුගලට මෙන්ම මහින්ද ජයසුන්දරට පොලිසියේ පමණක් නොව සමස්ත ජාතියේම ගෞරවය ප්‍රණාමය හිමිවිය යුතුය.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here