රටට ඩොලර් ගේන මැණික් කර්මාන්තයත් අර්බුදයකද?

0
2

ශ්‍රී ලංකාව යන නාමය විශ්වයට ගෙන ගිය එක් මහා වාසනාවන්ත සම්පතක් වනුයේ මැණික් කර්මාන්තයයි. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම කර්මාන්තය අද වන විට දිගුකාලීන ආදායම් මාර්ගයක් වන අතර රටේ විදේශ විනිමය ගෙන එන සාරවත් කොටසකි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තරමට අපේ මැණික් ලෝකයට වටියි. මෙතරම් වටිනා සම්පත වත්මන් ගැටලු හමුවේ දිනෙන් දින බිඳවැටීමකට ලක් වීමක් හා අර්බුදවලට මුහුණ දෙමින් පවතී. ඒ අනුව වත්මන් මැණික් කර්මාන්තය හා ඒ ආශ්‍රිත තත්ත්වය හා අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමට රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ හිටපු සභාපති යූ.ජී. චන්ද්‍රසේන මහතා සමග කළ සංවාදයකි.

ලංකාවේ මැණික් කර්මාන්තය අවුරුදු 4500කට ඉහතදී සිට රජකාලේ සිට සිදුකරගෙන ආ දෙයක්. මෙය ක්‍රම ක්‍රමයෙන් ඇවිත් ඒ කාලෙ රජවරුන්ගේ ආභරණවලටත් විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ හමුවන මැණික් නුවර ප්‍රදේශවලට රැගෙන ගොස් රජවරුන්ට ආභරණ සාදා පරිත්‍යාග කර ඇත.

ඒ වගේම මුක්කරු යනුවෙන් ජාතියක් රත්නපුර ප්‍රදේශයට පැමිණ ඇති බවට සාක්ෂි ලැබී තිබේ. අපේ ප්‍රදේශයේ යම් යම් තැන්වල මුක්කරු සොහොන් පවා හමුවී තිබේ. මුක්කරුවන් විසින් ආර්නුර්, වයිරෝඩි ආදි වර්ග පණුවකු සිටිනවා යැයි කියමින් ඉවත දමා ඇත. නමුත් ඒ පණුවකු නෙමෙයි. ඒක නුලක්. ආර් නූර් කියන්නේ නූල් හයක්, වයිරෝඩි කියන්නෙ එක නූලයි. කර්මාන්තයේ නියැළිලා සිටින පිරිස් ඒවා වෙළඳපොළට දමා විකුණලා මුදල් ලබා ගැනීම සිදුකරනවා.

මේ වනවිට සාම්ප්‍රදායික පතල් ක්‍රමයත් තියෙනවා. පතල් දැන් නවීන තාක්ෂණය අනුව යන්ත්‍රානුසාරයෙන් කරන ක්‍රමයක් තියෙනවා. ලංකාවේ තිබෙන මැණික් ගත්තොත් හොයාගෙන තිබ්බෙ 1/4යි. 3/4ක් තව හොයාගන්න තියෙනවා. ලංකාවෙ භූමිය තුළ මම දන්න තරමින් නැගෙනහිර විතරයි මැණික් නැත්තෙ. ලංකාවෙ අනික් හැම පැත්තකම මැණික් තියනවා. කම්කරුවන්ගේ වාසනාව නොතිබෙන්න මැණික් නොලැබී යෑමට පුළුවන්. යන්ත්‍රානුසාරයෙන් මැණික් හොයන හැමෝටමත් මැණික් හම්බෙන්නෙ නැහැ. එතකොට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. දැන් මේ වනවිට බැකෝ බලපත්‍රයක් ගන්නවනන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඇපයක් වශයෙන් ලක්ෂ තුනයි ගාණක් බඳින්න ඕනි. LAC ඉඩම්වලට පර්චස් එකකට රු.40000 බඳින්න ඕනි. බැඳලා අවසර ගන්න ඕනි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි ඉඩම් තියනවා. මෙහි බලපත්‍ර දීමේදී ගොඩක් ගැටලු තිබෙනවා. මුදල් ඇමැති වශයෙන් ජනාධිපතිතුමා මුණ ගැහිලා මේ ගැන කතා කරලා මහජනයාට පහසු පරිදි පොළොව යට තිබෙන වස්තුව ගොඩ අරගෙන අධිකාරියේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ අලෙවි කරලා විදේශ විනිමය ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට මැණික් ගැරීමේ අරමුණෙන් ඉවක් බවක් නැතුව බැකෝ යන්ත්‍ර යොදාගෙන කපාගෙන යනවා. එයාලත් නොදැනුවත්ව පරිසර විනාශයත් යම් යම් තැන්වල සිදුවෙනවා. ගංගා ඇළදොළ රොන් මඩවලින් පිරෙනවා. අපි පොඩි කාලෙ ගංගාවෙන් වතුර බිව්වා. නමුත් මේ වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා තියනවා. මිනිස්සු පොළොව හූරගෙන මැණික් ගන්නවා.

හිටිහැටියේ උඩින් පාත් වෙන මිනිස්සු මේ කර්මාන්තයේ පැවැත්ම ගැන බලන්නෙ නැහැ. ක්ෂේත්‍රය ගැන කිසිදු අවබෝධයක් නෑ. කොළඹ ප්‍රදේශයේ සමහර අය මේ ඉඩම් අරගෙන කිසිදු අවබෝධයක් නැතිව කටයුතු කරනවා. අදටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් ආර්ථිකය රඳා පවතින්නෙ මැණික් කර්මාන්තය මත. ඒ නිසා මේ කාරණා පිළිබඳ මීට වඩා සැලකිලිමත් වීම වැදගත්.

තව ප්‍රශ්නයක් තියනවා. මැණික් අධිකාරියේ සහ හිටපු සභාපතිවරුන්ගෙත්. මේ මැණික් ගොඩගත්තට අපනයනය වෙන්නෙ නැහැ කියලා. මෙහෙම හොර රහසෙ වැඩ කරන අය සිටිනව නම් අපි අධිකාරියට යෝජනා කළේ මැණික් අලෙවි කිරීමෙන් පසුව පිළිගත් බැංකුවට මුදල් වැටෙන්නෙ නැති වුවහොත් හෝ වෙනත් ක්‍රමයක් බැලුවහොත් එම පුද්ගලයන් සම්පූර්ණයෙන්ම බ්ලැක්ලිස්ට් කරන්න කියලා.

මේ කර්මාන්තය කරන්න පහසුකම් ටික රජය මැදිහත් වෙලා කර්මාන්තයට උදවු කරලා මේ මැණික් ටික ගොඩ ගත්තොත් රජය බලාපොරොත්තු වන ඩොලර් ගාණ ගන්න පුළුවන්. බලපත්‍ර ලබා දීමේදී පරක්කු නොකර ගොවිජන දෙපාර්තමේන්තුව මේ කටයුතු ඉක්මනින් කරන්න ඕනි. බලපත්‍ර ලබා ගත් අයත් තමන් ගත්ත බලපත්‍රයේ කොන්දේසිවලට අනුව වැඩකරන්න ඕනි. ලබාදුන්නු බලපත්‍රයට අනුව පොළොව හාරගෙන කරන දේ සොයා බැලීම මැණික් සංස්ථාවෙ වගකීමකි.

අනවසර මැණික් ගැරීම් නැවැත්විය යුතුය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නීතිරීතිවලට අනුව ඒ තියෙන ඉඩම්වල ඉවුරු කඩන්නෙ නැතුව ආරක්ෂා වෙන පරිදි කර්මාන්තවල නියැලී සිටිය යුතුයි.

මැඩගස්කරය හා දකුණු ඇමරිකාවෙ රටවල්වල ලංකාවට වඩා ගොඩක් මැණික් තියනවා. 1999 වර්ෂයේ මැඩගස්කරයට ගිහින් ඔවුන් සමග සාකච්ඡා කරලා ලංකාවට සම්බන්ධකම් ඇති කරා. ඉතින් අපි හැමදාම රජයට කිව්වා මැඩගස්කරයට කෙලින්ම ගුවන් යානයක් දැම්මොත් මේ ගල් ටික සෘජුවම ගේන්න පුළුවන් කියලා. අපි ගුවන් යානා දෙක තුනක ගිහින් තමයි

මැඩගස්කරයට ගියේ. එහෙම දුකක් විඳලා ගිහිල්ලා තමයි අපි මේ කර්මාන්තය ගැන පැහැදිලි කරලා ලංකාවට ගල් ටික ගේන්න අවසර ගත්තෙ. නමුත් මේ වන විට බැංකොක්වලට ගේන ගල් සම්පූර්ණයෙන්ම ඕනි කෙනෙකුට බදු නැතුව ගේන්න පුළුවන්. නමුත් ලංකාවේ පිරිස නොදැනුවත්ව හෝ ලංකාවට ගල් ගේන විට බද්දක් වදිනවා. ඉතිං අපිට ඒකෙන් අවාසියි. ඒ නිසා ගොඩක් අය ගල් ගේන්නේ නෑ. නමුත් අපි ගල් ගේන්න ඕනි. ඒ ගල් ලංකාවට ගෙනත් කපලා ඔපදාලා ප්‍රතිඅපනයනය කළ යුතුයි. එතකොට වැඩි මුදලකට ලාභයක් ගන්න පුළුවන්.

ඉතින් මේ කර්මාන්තයට ආදරේ කට්ටිය මෙය රැක ගත යුතුයි. මේක ලොකු වස්තුවක්. ඒ සඳහා කම්කරුවාගේ සිට රාජ්‍ය හා පෞද්ගලික සියලු අංශ කටයුතු කරන්න ඕනි. නිලධාරීන් හා බලධාරීන් හොරු නොවිය යුතුයි. ඒ වගේම අවම පරිසර හානියකින් කර්මාන්තය ගොඩදැමිය යුතුයි. එවන් පසුබිමක මෙරට මැණික් කර්මාන්තය තුළින් දැනට ලැබෙන විදේශ විනිමය දසදහස් ගුණයකින් වැඩිකර ගැනීමට හැකියි.

සාකච්ඡා කළේ
චතු වීරසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here