රජයේ මූල්‍ය පරතරය පියවන්න ඉදිරි වසරවලදී ADB සහාය දිගටම – ටකෆුමි කඩොනො

0
6

ප්‍රතිපත්ති පාදක ණය ( policy based loans) මඟින් රජයේ මූල්‍ය පරතරය පියවීම සඳහා ඉදිරි වසරවලද රජයට අඛණ්ඩව  අයවැය සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ, ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා ‘දිවයින’ ට පැවසීය.

දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ කාලය අවසන් වන තෙක්, අවම වශයෙන් වර්ෂ 2027 දක්වා ඉදිරි වසරවල දී

ප්‍රතිපත්ති පාදක ණය හරහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට මේ  අයවැය සහාය ලබාදීම දිගටම කරගෙන යන බව ද කඩොනො මහතා කියා සිටියේය.

කිලිනොච්චියේ , වව්නියාවේ සහ අනුරාධපුරේ සිදු කළ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.

රජය සහ මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන මුළු අයවැය සහාය ප්‍රමාණය වර්ෂ 2023 සහ 2027 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ වේ. මේ සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන අයවැය ආධාර ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධීකරණයෙන් තීරණය වනු ඇති බව ද ටකෆුමි කඩොනො මහතා කීවේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පසුගිය දින තුනක් තිස්සේ කිලිනොච්චියේ , වව්නියාවේ සහ අනුරාධපුරේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එම ව්‍යාපෘතිවල ප්‍රතිලාහීන් සමග අදහස් හුවමාරු කර ගැනීම ද සිදුකළේය.

මේ සමග ඇති ජායාරූපයෙන් දැක්වෙන්නේ උතුරේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන ව්‍යාපෘතියක ජල පාරිභෝගිකයින් සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව ටකෆුමි කඩොනො මහතා ඔවුන් සමග සමූහ ජායාරූපයකට පෙනී සිටි අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here