රජයේ අනුග්‍රහයෙන් ගංජා වගා කිරීමට ප්‍රයත්න දරනු එපා

0
1

මේ සෙල්ලම ජනාධිපතිතුමන්ගේ අවධානයටයි
ඕමල්පේ සෝභිත නාහිමි

“මේ දිනවල අපි ඉතාම සතුටින් ස්තූති පූර්වකව දකිනා දෙයක් තමයි ජාතික දේහය නමැති ඇඳුම මැනවින් සෝදන ආකාරය. ඒ තමයි මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය පිටුදැකීමේ විශිෂ්ට මෙහෙයුම. නමුත් තවත් පැත්තකින් ඒ හෝදන රෙද්ද නැවත මඩේ ඔබන බව පෙනී යනවා. ඒ තමයි රජයේ අනුග්‍රහයෙන් ගංජා වගා කිරීමට ප්‍රයත්න දැරීම. මේ වැඩේ කරන්න එපා. එය ඔබතුමා මේ රටේ සදාචාරගරුක ජනතාවගේ පිළිකුලට හා අප්‍රසාදයට භාජනයවීමක්.”

යනුවෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත. නාහිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ “ගංජා පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය රටට හිතකර ද?” යන මැයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පසුගිය දා (24දා) පැවැති සම්මන්ත්‍රණය අමතමිනි. අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති අනුනායක හිමිපාණන්ගේ මූලාසනයෙන් යුතුව පැවැති මෙම සම්මන්ත්‍රණය “මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික එකමුතුව” මගින් සංවිධානය කර තිබුණි. මේ අවස්ථාවේ තවදුරටත් කතා කළ ඕමල්පේ නාහිමි පසුගිය රජය සමයේ පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන ලද හා ජනතා විරෝධයට පාත්‍ර වූ මේ ගංජා ව්‍යාපෘතිය මේ රජය යටතේ යළි පණගැන්වීමට ගන්නා උත්සාහය අතිශයින්ම නින්දාසහගත බව ද කියා සිටියේය.

පිටරට යැවීමට යැයි කියාගෙන රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහන නිසා අපේ රටේ ජනතාවට විනාශය ගෙනදෙන බවත්, ඔය කියන ආකාරයේ විදේශ වෙළෙඳපොළක් ගංජා සඳහා නොමැති බවත් උන්වහන්සේ තවදුරටත් පළ කළහ. එදා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා හිටපු බලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළා. “විදේශ වෙළෙඳපොල මොකක්ද? රට යවන ප්‍රමාණ කොතෙක් ද? කවර කාලසීමාවකට ද? මේ ප්‍රශ්නවලට එදා බලධාරීන් පිළිතුරු දුන්නේ නෑ. අදත් අපි අහන්නේ ඒ ප්‍රශ්නම තමයි. එදා වැරදි ලෙස දැක්ක දේ අද නොදකින්නේ කොහොමද?” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.

ගංජා පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය රටට අහිතකර වන බැවින් එය ක්‍රියාත්මක නොකරන ලෙසට අතිපූජ්‍ය මහනායක මාහිමියන් වහන්සේලාගේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව ඕමල්පේ හිමියෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව අදාළ කරුණු සම්මුඛයේ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමන්ගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින පෙත්සමක් ද මෙහිදී අත්සන් කෙරිණ. “රජය අනුගමනය කරන ගංජා ප්‍රතිපත්තිය ව්‍යවස්ථා විරෝධී බැවින් ඒ පිළිබඳ වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුය.” යනුවෙන් ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා ගෙනෙන ලද යෝජනාව ඒකමතිකව සම්මත විය.

පූජ්‍යපාද පත්බේරියේ විමලඤාණ, ආචාර්ය හිඳගල ඤාණාධාර, පූජ්‍ය පාගොඩ ජනිතවංස යන හිමිවරු ද, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ ලේකම් මහේන්ද්‍ර ජයසිංහ, පුබුදු සුමනසේකර, චාමර ගුණතිලක, වෛද්‍ය සුනිල් කල්‍යාණතිස්ස යන මහත්වරු ඇතුළු තවත් කිහිප දෙනෙක් ද සභාව ඇමතූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here