රඟපෑම අහම්බයක්… – ඒ කාලේ බෑන්ඩ් පිස්සුව හොඳට තිබුණා

0
1

නුවන් ඩී. යාපා

පසුගිය කාලය පුරාවටම ගායනයෙන් වගේම රංගනයෙන් දස්කම් දැක් වූ නුවන් ඩී. යාපා මේ දවස්වල ටිකක් වැඩිය සද්ද බද්ද නැහැ. ඇත්තටම නුවන්ට මොකද වුණේ. ආපහු වැඩ කරන්නේ නැතිද? එහෙමත් නැතිනම් අලුත් වැඩක් කරන්නද මේ නිහඬවෙලා ඉන්නේ. ඉතිං ඒ ගැන දැනගන්න අපි නුවන් එක්ක කතාබහක නිරත වුණා.

නුවන්ව පසුගිය කාලයේ ටෙලිනාට්‍ය රැසකින් දකින්න ලැබුණා. මොකද දැන් වැඩි සද්දයක් නැත්තේ?

පෞද්ගලික රාජකාරි කිහිපයක් එක්ක මේ දවස් ටිකේ කලා වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න බැරිවුණා. ඉදිරියේදී මගේ අලුත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ලබන වසරේ අලුතෙන් ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙන්න තියෙනවා. මගේ පෞද්ගලික වැඩරාජකාරී ටික අවසන් වුණ ගමන්ම ඉදිරියේදී නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය දවස්වල සම්බන්ධ වුණ විසේකාරී ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

මම විසේකාරී ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයකට සම්බන්ධ වුණා. විසේකාරී ටෙලිනට්‍යයේ ප්‍රධාන මැර චරිතය මට තමයි දීලා තියෙන්නේ. ඉදිරියටත් විසේකාරී ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයකට මම සම්බන්ධවීමට නියමිතයි. මම රඟපෑවේ රංජි කියන චරිතය. මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

එතකොට හිරිපොද වැස්සේ වසන්තගේ චරිතයට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

හිරිපොද වැස්සේ වසන්තගේ චරිතයට මට කතා කළේ අකිල ගුරුසිංහ. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද වසන්ත තර්ජනය කරන්නේ අරෝෂ්ට. ඒක හින්දා වසන්තගේ චරිතයට මිනිස්සු කැමැති වුණා කියලා හිතනවා.

රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා හිටියා නේද?

ඔව්. රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ තමයි මම වැඩිම දර්ශනවාර ගණනාවකට සම්බන්ධවෙලා හිටියේ. රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ කළුගේ චරිතයට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ලංකාවේ දක්ෂතම හොඳ නළු නිළියන් එක්ක මට රඟපාන්න අවස්ථාව හම්බවුණා. ඒ සඳහා එහි අධ්‍යක්ෂ අනුර ඒකනායකට ස්තූතිවන්ත වෙනවා.

රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයට සම්බන්ධවෙන්න ලැබුණේ කොහොමද?

මම ඒ ටෙලිනාට්‍යයේ ඔඩිෂන් එකට ගියා. ඊට පසුව එහි අධ්‍යක්ෂ අනුර ඒකනායක අවස්ථාවක් ලබාදුන්නා එහි නිෂ්පාදන අංශයත් භාරගන්න කියලා. එහි නිෂ්පාදන කටයුතු එක්ක සියල්ල සාර්ථකව කරගෙන ගියා. ඒක මගේ ජීවිතයට ලැබුණ ලොකු අත්දැකීමක්.

ගායකයාට මොකද වුණේ?

පොඩි පොඩි අතපසුවීම් ටිකක් සිද්ධ වුණා. වැඩිපුරම වුණේ රංගන වැඩටයුතුවලට සම්බන්ධවීමයි. රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ හැමදාම වගේ රූගත කිරීම්වලට සම්බන්ධවෙන්න සිද්ධ වුණා. අනික එහි නිෂ්පාදන කටයුතු භාරව හිටපු හින්දා ගොඩක් ඒ වෙනුවෙන් කැපවුණා. ඉතිං වෙන වැඩකටයුත්තකට කාලය යොදවන්න බැරිවුණා. ඉදිරියේදී සුදේශ් අත්තනායක ලියපු ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීත වැඩකටයුතු එහෙමත් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පසුගිය කාලයේ ඔබ ගීත ගණනාවක් ගායනා කළා නේද?

ඔව්. මගේ ගීත පහක් විතර තියෙනවා. ඒ අතුරින් ජනතාව අතරට ගිය ගීතත් තියෙනවා. අදටත් නාලිකාවල වාදනය වන ගීතත් තියෙනවා. හිත කිනිත්තුවා ආදරේ, කුචිකවන්නා, ලයින් එකට, අවසාන ප්‍රේමය වගේ ගීත කිහිපයක් තියෙනවා.

දැන් ගායනයෙන් ඈත්වෙලාද?

නැහැ. නැහැ. ඉදිරියේදී ගායන වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සුදේශ් අත්තනායක ලියපු අලුත් ගීතය හරහා තමයි ආපහු මම කරළියට එන්න හිතාගෙන ඉන්නේ.

ඔබ පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ ගායකයෙක් වෙන්නද?

මම 2004, 2005 වසරවල ඉඳලා අකුරැස්ස ලයිෆ් කියලා සංගීත කණ්ඩායමක් මෙහෙයව්වා. 2012 සහ 2013 වසර වෙනකම් සංගීත කණ්ඩායම සාර්ථකව කරගෙන ගියා. ලංකාව වටේම ප්‍රසංගවලට සහභාගි වුණා. අපේ සාමාජිකයන්ගේ පුංචි පුංචි ගැටලු එක්ක බෑන්ඩ් එකේ වැඩකටයුතු නැවතුණේ. ඉතිං ඔය ගැටලු එක්ක තමයි මට සංගීතය පැත්තට වැඩිය නැඹුරුවෙන්න බැරිවුණේ.

ආපහු බෑන්ඩ් එකක් පටන්ගන්න අදහසක් නැතිද?

මෑතකදී පොඩි අදහසක් තිබුණා පොඩි එකෝස්ටික් බෑන්ඩ් එකක් පටන්ගන්න ඕනෑ කියලා. සංගීත භාණ්ඩත් අරගෙන පුහුණුවීම් පවා සිද්ධ කළා. සමාජ මාධ්‍ය එහි වීඩියෝ කිහිපයක් මුදාහැරියාට පස්සේ ඒකත් ටිකක් විතර ජනතාව අතරට ගියා. දැනට එහි වැඩකටයුතු නැවතිලා තියෙන්නේ. ඉදිරියේදී කාලයත් එක්ක බලමු මොනවාද වෙන්නේ කියලා.

වැඩිපුර කැමැති ගායනයටද? රඟපෑමටද?

ඇත්තටම දෙඅංශයටම කැමැතියි. මම හිතනවා ඉදිරියේදී රංගනයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න වෙයි කියලා.

මේ ආපු ගමනේදී මුහුණදුන් අභියෝග එහෙම තියෙනවාද?

රඟපාන්න තියෙන ආසාවට මම සෑහෙන ඔඩිෂන්වලට ගිහිල්ලා තියෙනවා. ඉතිං ඔය ඔඩිෂන්වලට පන්සියයක් විතර සහභාගි වෙනවා. ඒවායින් හතර පස්දෙනයි තෝරාගන්නේ. මම ඉතිං රඟපෑමට තියෙන ආසාවට කට්ටක් කාලා තියෙනවා. මම හිතනවා පොඩි කාලයක් තුළ සෑහෙන දුරක් ඇවිත් තියෙනවා කියලා. දැනට මම ටෙලිනාට්‍ය fදාළහක විතර රඟපාලා තියෙනවා. ඇත්තටම සතුටුයි.

කැපිලි කෙටිලිවලට එහෙම මුහුණදෙන්න වෙලා තියෙනවාද?

මගේ රංගන ජීවිතයේ දී මට මුණගැසුණු දැවැන්ත නළු නිළියන්ගෙන් මට උපරිම සහයෝගයක් ලැබිලා තියෙනවා. නමුත් මට නම් එහෙම ප්‍රශ්න මතුවෙලා නැහැ. මොකද මම කාත් එක්කත් හොඳින් තමයි ඉන්නේ.

ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

මම මියුසික් පටන්ගද්දී හිතුවේ නැහැ කවදාවත් මට රඟපාන්න හම්බවෙයි කියලා. රංගන ජීවිතයට ඇවිත් මෙච්චර දුර ගමනක් ආව එක ගැන ඇත්තටම සතුටුයි. මොකද බලාපොරොත්තුවක් තිබුණේ නැති දෙයක් තමයි රංගනය කියන්නේ. ඇත්තටම රංගනය කියන්නේ අහම්බයක්.

බෑන්ඩ් පටන්ගන්න ඕනෑ කියලා ලොකු ආසාවක් තිබුණාද?

අපොයි ඔව්. ඒ කාලේ මට බෑන්ඩ් පිස්සුව හොඳට තිබ්බා. 2004, 2005 වගේ වසරවල වගේම 2012 වෙනකම් බෑන්ඩ් පිස්සුව හොඳටම තිබුණා. යූටියුබ් නාලිකාවක් කරගෙන ගියා. ඒත් එක්කම කාලය ගත කළේ. කලාවෙන් ඉදිරියට යන්න ඕනෑ කියන තැනම තමයි හිටියේ. රස්සාවක් කරන්න ආසාවක් තිබ්බෙත් නැහැ. ව්‍යාපාර කටයුතු කරගෙන යන ගමන් කලාවෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

දිනේෂ් විතාන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here