රග්බි නව සභාපති පවිත්‍ර ප්‍රනාන්දු

0
1

ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ අභිනව සභාපතිවරයා ලෙස පවිත්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (08 දින) කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයීය ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති මහා සභා වාරය සහිත නිලවරණයේ දී වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

මෙවර සභාපති ධුරය වෙනුවෙන් පවිත්‍ර ප්‍රනාන්දු මහතා සහ ලසිත ගුණරත්න මහතා අතර පැවැති තරගයෙන් වැඩි ඡන්ද 18 කින් ජය ගත් පවිත්‍ර ප්‍රනාන්දු මහතාට ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලන මුල් පුටුව හෙබවීමේ වරම් ඒ අනුව හිමිවිණි. සභාපති ධුරය වෙනුවෙන් පැවති තරගයේ දී පවිත්‍ර ප්‍රනාන්දු මහතා ඡන්ද 36 ක් ලබා ගන්නා අතර වාරයේ දී ඡන්ද 18 කින් සෑහීමට පත්වන්නට ලසිත ගුණරත්න මහතාට සිදු විය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති පවිත්‍ර ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලන මුල් පුටුවට පත් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

1990 දශකය තුළ ජාතික හා ජාත්‍යන්තර රග්බී පාපන්දු කෙළිබිම තුළ දක්ෂතා ප්‍රදර්ශනය කළ පවිත්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙකි.

අභිනව ලේකම්වරයා ලෙස ගුවන් කොමදෝරු සුභාෂ් ජයතිලක මහතා නිතරගයෙන් පත්වන අතර වාරයේ දී භාණ්ඩාගාරික ධුරය නියොමාල් ඒකනායක මහතා සතු විය. මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ශානිත ප්‍රනාන්දු මහතා මෙවර නිලවරණයේ දී නියෝජ්‍ය සභාපති ලෙස නිතරගයෙන් පත් වූයේය. ශානිත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම සී.ආර්.ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම් නියෝජනය කර ඇත. බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ පොලිස් පිල මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක පෙරේරා මහතා උප සභාපති ලෙස නිතරගයෙන් පත්විණි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ නාවික හමුදාව නියෝජනය කර ඇති ස්ටෙෆාන් ග්‍රෙගරි මහතා ක්‍රීඩක නියෝජනය වෙනුවෙන් පත් කෙරුණු අතර කාන්තා නියෝජනයට තිළිණි රංගනී මහත්මිය පත් වූවාය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here