යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා – ජනපති රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි

0
2


දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු, යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා, වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් යුතු සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීමයි” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස පැවති 16 වන රණවිරු දින සැමරුම් උත්සවය අමතමිනි.

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

“දශක ගණනාවක් අපේ රට යුද්ධකට මුහුණ දුන්නා. රටට, ජනතාවට විශාල විනාශයක් අත්කර දුන් එම යුද්ධය මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කළ අපේ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් අපි අද සමරනවා. ඒ අනුව අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක් බව කිව යුතුයි.

මෙම සැමරුම එම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් වගේම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වෙනවා.
මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.
එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.

නමුත් “යුද්ධය” යන වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද, විනාශකාරීද කියා.

නමුත්, මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නොවේ. ඒ හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද. අද උතුර, දකුණ කියා භේදයකින් තොරව මේ යුද්ධයේ විනාශයේ සහ ඛේදවාචකයේ නටඹුන් මතින් ගොඩනැඟී තිබෙන අයුරු අපි දැක තිබෙනවා.

පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් මේ මාතෘ භූමියේ තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මෙම නාම පුවරුවල ලියා තිබෙන නම් අතර තමන්ගේ පුතාගේ නම තිබෙනවාද, තමන්ගේ ස්වාමියාගේ නම තිබෙනවාද, තමන්ගේ දරුවාගේ නම තිබෙනවාද කියා ඇගිලි තබමින් නම් සොයන අය සිටින බව මම දන්නවා. අපේ අම්මලාගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය අපි දන්නවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සොයනවා.

යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here