“යුද්ධය එපා ” ස්පාඤ්ඤ අගමැති ට්‍රම්ප්ට කියයි! – Saru News | සිංහල

0
3

ඉතාම අඩුම පහසුකම් සහිතව ප්‍රති ප්‍රහාර එල්ල කරන ඉරානයේ යුධ අභියෝගය හමුවේ යම් පසුබෑමකට ලක් වී සිටින ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් දිගින් දිගටම ස්පාඤ්ඤයේ අන්දලුසියේ පිහිටා ඇති යුධ කඳවුරු තමන් වෙත භාර දෙන ලෙස එරට රජයෙන් බල කරමින් සිටින බව වාර්තා වේ. නමුත් ස්පාඤ්ඤ වාමාංශික අගමැති Pedro Sánchez, ඉරානයට එරෙහි ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාරය දැඩි ලෙස විවේචනය කරමින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති බව මාධ්‍ය වාර්තා කර සිටි.

ස්පාඤ්ඤය සමග සියළු වෙළඳ හා යුධ ගනුදෙනු අහෝසි කරන බවට ට්‍රම්ප් විසින් සිදු කරන ලද තර්ජනයට ප්‍රතිචාර දක්වමින් “යුද්ධය එපා “යයි ස්පාඤ්ඤ අගමැති වරයා ජාතිය අමතමින් යලි අවධාරණය කර සිටියේය.

ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවට යලි යලිත් ප්‍රකාශ කරමින් මානව ව්‍යසනයකට තම රට හවුල් නොවන බවට ද ඔහු තම ප්‍රකාශයේදී සඳහන් කර සිටියේය.

“ස්පාඤ්ඤ රජයේ ස්ථාවරය වචන හතරකින් සාරාංශ කළ හැකිය: ‘යුද්ධය එපා’! “ජාත්‍යන්තර නීතිය බංකොලොත්භාවයට පත් කරන්න එපා. මෙම යුද්ධයට එජා සංවිධානය පමණක් නොවේ ඇමරිකානු කොංග්‍රසය අවසර දී නැත. ලෝකයට එහි ගැටලු විසඳා ගත හැක්කේ බෝම්බවලින් පමණක් යන අදහස එපා. අවසාන වශයෙන්, අතීතයේ වැරදි නැවත කිරීමටත් සුදානම් වෙන්න එපා! අපගේ මෙම ස්ථාවරය “තවත් බොහෝ රජයන්” සහ ලෝකය තුල “යුද්ධයක් හෝ අවිනිශ්චිතතාවයක් ඉල්ලා නොසිටින යුරෝපය, උතුරු ඇමරිකාව සහ මැදපෙරදිග පුරා සිටින මිලියන සංඛ්‍යාත පුරවැසියන් විසින් බෙදා ගනු ලබන බව අප දන්නවා! සියළු සතුරුකම් නවත්වන ලෙස ගැටුමට මුල් වී ඇති එක්සත් ජනපදය, ඉරානය සහ ඊශ්‍රායලයෙන් අප ඉල්ලා සිටින්නේ තව තවත් ප්‍රමාද වීමට පෙර මෙම නිෂ්පල යුද්ධය නතර කරන ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමින්! මෙම අර්බුදය සමස්ථ ලෝකයටම බලපානවා. එක් නීති විරෝධී ක්‍රියාවකට තවත් නීති විරෝධී ක්‍රියාවක් මගින් මුහුණ දිය නොහැක.” යයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ නොසැලී අගමැති Pedro Sánchez,තම දේශණය තුලින් පවසා සිටියේය.

එහෙත් මාර්තු 3 වන අඟහරුවාදා සවස ධවල මන්දිරයේ සිට, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ එයට පිළිතුරු ලෙස “ස්පාඤ්ඤය සමඟ සියලු වෙළඳාම නවත්වන” බවට තර්ජනය කරමිනි. ඉරානයට එරෙහි යුද්ධයේ කොටසක් ලෙස ඇන්ඩලූසියාවේ හමුදා කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපදයට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු ඉතා නිර්ධය ලෙස මැඩ්රිඩ් පාලනය  විවේචනය කළේය.

“ස්පාඤ්ඤය විසින් ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු නොකරන භයානක රටක්” බවට පත් වී තිබෙනවා යයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අතර, ස්පාඤ්ඤය නේටෝ සංවිධානය සඳහා තම දල ජාතික නිෂ්පාදනයෙන් 5% ක් වෙන් කිරීමද ප්‍රතික්‍ෂේප කළා යයි තව දුරටත් පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැති Pedro Sánchez, බදාදා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඔහුගේ එකඟ නොවීම් නැවත තහවුරු කළේ, “තර්ජන වලට අපි බිය වන්නේ නෑ! අපිට පලිගැනීම් අවශ්‍ය නෑ! කුමන අවාසි වලට මුහුණ දීමට සිදු වූවත් මෙම ව්‍යසනයට විරුද්ධ වෙමු! ජාතීන් අතර සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හෝ ගෞරවය යුධ නටබුන් වලින් මතුවිය හැකි බව විශ්වාස කිරීම බොළඳ සහාසික ක්‍රියාවක්. අන්ධ සහ වහල් යටත්කම නායකත්වය සඳහා සුදුසුකමක් නොවේ! ලෝකයට අහිතකර සහ අපගේ එයතිහාසික වටිනාකම් සහ මානවවාදී අවශ්‍යතාවලට පටහැනි දෙයකට අපි හවුල් නොවන්නෙමු! අපගේ මෙම යුධ විරෝධී ස්ථාවරය තවත් යුද්ධයක් හෝ අවිනිශ්චිතතාවයක් ලොවට අවශ්‍ය නැතැයි කියන යුරෝපය, උතුරු ඇමරිකාව සහ මැද පෙරදිග පුරා ජීවත් වන මිලියන සංඛ්‍යාත පුරවැසියන් විසින් බෙදා ගන්නා බව මට විශ්වාසයි” යනුවෙනි.

 1953 දී ස්පාඤ්ඤයේ ඒකාධිපති ෆැසිස්ට් ෆ්‍රැන්කෝ පාලන සමයේ වොෂින්ටනය සහ මැඩ්රිඩ් අතර අත්සන් කරන ලද ගිවිසුමකින් උරුම වූ දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියාවේ (රොටා නාවික කඳවුර සහ මොරොන් ගුවන් කඳවුර) පිහිටි ඇමරිකානු කඳවුරු දෙකක් එක්සත් ජනපදය තම භාවිතාව සඳහා ඉල්ලා සිටි. නමුත් ඉරානයේ හමුදා මෙහෙයුම් සඳහා ඒ අනුව රොටා සහ මොරොන් හි එක්සත් ජනපද හමුදා මගින් එම කඳවුරු භාවිතා කිරීම ස්පාඤ්ඤ රජය තහනම් කර ඇත. යුද සමයේදී ගුවන් යානා යෙදවීමක් සිදුවුවහොත් මෙම හමුදා කඳවුරු දෙක වසා දැමීමට ස්පාඤ්ඤයට බලය පවරන බව ස්පාඤ්ඤය හා වොෂින්ටනය සමඟ අත්සන් කරන ලද අදාළ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමේ වගන්තියක් ට්‍රම්ප් වෙත යවා ඇත.

1936 දී ෆැසිස්ට් ෆ්‍රෑන්කෝ පාලනය බලයට පැමිණියේ හිට්ලර් හා මුසලෝනි ගේ සහය ඇතිව චන්දයෙන් බලයට පැමිණි සමාජවාදී වාම පෙරමුණ පාලනය හමුදා කුමන්ත්‍රණයකින් මිලියනයක් වාමාංශිකයින් මරා දමමිනි.  Pedro Sánchez ගේ සමාජවාදී පක්ෂය එහි සාමාජිකයකු විණි.

කෙසේ වෙතත්, එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ තමාට සුදුසු යැයි සිතුනොත් සහ අවසරයකින් තොරව මෙම හමුදා කඳවුරු භාවිතා කිරීමට හැකියාව ඇති බවයි. “ස්පාඤ්ඤය මිතුරෙකු නොවන” බවත් එහි වගකීම ස්පාඤ්ඤ ජනතාවට නොව ඔවුන්ගේ නායකයින්ට පැවරෙන බව ද පවසා සිටියේය.

එයට පිළිතුරු දුන් ස්පාඤ්ඤ ජනාධිපති පැවසුවේ ඉරානයට එරෙහිව වොෂින්ටනයේ සහ ඊශ්‍රායලයේ අරමුණු “පැහැදිලි නැති බවයි.

 “ස්පාඤ්ඤය ස්වෛරී සහ සාමකාමී රටක්”! එයට “එහි පුරවැසියන්ගේ ජීවිත සහ අයිතිවාසිකම් තීරණය කිරීමේ නීත්‍යානුකූලභාවය” ඇත්තේ ඔවුන්ගේ චන්දයෙන් බලයට පත් වූ රටේ පාලකයා වන මා හා මාගේ රජයට. මම නැවතත් ඉල්ලා සිටින්නේ මෙම යුද්ධයට සම්බන්ධ වී සිටින සියලු බලවතුන් ගෙන්, තම  “සතුරුකම් නැවැත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක්” සඳහා සාකච්චා කරන ලෙසයි. අප වටහා ගෙන ඇති දේ නම්, ගැටුම් වලින් සාධාරණ ජාත්‍යන්තර විසඳුමක් මතු වන්නේ නෑ. ඇමරිකානු-ඊශ්‍රාල් හවුල සිදුකරන ඒකාබද්ධ යුද්ධයේ අරමුණ පැහැදිලි නෑ. නායකයින්  ඔවුන්ගේ අසාර්ථකත්වය සැඟවීමට යුද්ධයේ දුම් තිරය භාවිතා කිරීම” “පිළිගත නොහැකි” යයි අවසාන වශයෙන් සඳහන් කර සිටියේය.

මේ අතර ටෙහෙරානයේ පාලන තන්ත්‍ර වෙනසකට ඉරාන ජනතාවගේ කැමැත්ත සහ ශක්‍යතාව පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ද ඊයේ සැක පහල කළේය. එයට එරෙහිව ද ට්‍රම්ප්, “එක්සත් ජනපදය සමඟ සබඳතා පිරිහෙමින් පවතින” බව එක්සත් රාජධානිය දැන ගත යුතුයි, යයිද ඔහු “වින්ස්ටන් චර්චිල්ගේ ලඟින් වත් තියන්න බෑ” පවසමින් යම් යම් විවේචන ද එල්ල කළේය.

මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ විදේශ ඇමතිවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ “ස්පාඤ්ඤය නේටෝවේ ප්‍රධාන සාමාජිකයෙක්” බවත්, එය තම කැපවීම්වලට ගරු කරන බවත්, “යුරෝපීය භූමිය ආරක්ෂා කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන” බවත් ප්‍රකාශ කර සිටියේය.

ස්පාඤ්ඤය එක්සත් ජනපදය සමඟ “ඓතිහාසික සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සම්බන්ධතාවයක්” දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යන බව ආයතනික මූලාශ්‍ර ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සිය වන ANSA වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටි. “ඇමරිකානු පරිපාලනය මෙම සම්බන්ධතාවය නැවත පරීක්ෂා කිරීමට කැමති නම්, එය එසේ කළ යුත්තේ පෞද්ගලික සමාගම්වල ස්වාධීනත්වය, ජාත්‍යන්තර නීතිය සහ යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් වලට ද ගරු කරමිනි.”යයි එම වාර්තාව මේ අතර පෙන්වා දේ.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන තර්ජනවලට, විශේෂයෙන් ස්පාඤ්ඤයට එරෙහිව එල්ලවන තර්ජන වලට “ප්‍රතිචාර දැක්වීමට සූදානම්” බව යුරෝපීය සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“යුරෝපීය සංගමයේ සාමාජික රටවල වෙළඳ, ආර්ථික අවශ්‍යතා සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට යුරෝපා කොමිසම සහතික කරනු ඇත. අපි සියලුම සාමාජික රටවල් සහ ඔවුන්ගේ පුරවැසියන් සමඟ සහයෝගයෙන් සිටින අතර අවශ්‍ය නම්, අපගේ පොදු වාණිජ ප්‍රතිපත්තිය හරහා, යුරෝපා සංගමයේ පොදු අරමුණු ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිචාර දැක්වීමට ද සූදානම්” යැයි යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසීය.

“වරප්‍රසාද ලත් සුළු පිරිසකගේ යුධ උන්මාදය නිසා මානව ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක වග උත්තර කරුවෙකු වීමට ස්පාඤ්ඤ ජනතාවට අවශ්‍ය නෑ.” Pedro Sánchez තම දේශණය අවසන් කරමින් පවසා සිටියේය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here