යුගදිවිය සැපවත් කරන ග්‍රහ පිහිටීම්

0
12

දෙදෙනෙක් තම තමන්ගේ සිත්වල දහසකුත් බලාපොරොත්තු ඇති කරගෙන විවාහ ජීවිතයට ඇතුළත් වන්නේ ඔවුන්ගේ යුගදිවිය මල් යහනාවක් කර ගැනීමේ නොඉඳුල් බලාපොරොත්තුවෙනි.

එහෙම බලාපොරොත්තු වුණ දෙදෙනකුගේ යුගදිවිය තුළ ලිංගික සතුට සැපත අහිමිවෙලා නම් ඒ යුගදිවිය තුළ රැඳී සිටීමෙන් ඇති ඵලය කුමක්ද?

ඇත්තටම යුග ජීවිතයක් කියන්නේ සුන්දර අත්දැකීමක්. මේ සුන්දරත්වයේ සදාතනික සුන්දරත්වයක් කර ගැනීමට නිසි පරිදි විවාහ ගැළපීම් සිදු කර ගත යුතුය.

විවාහ ගැළපීම් නිසි පරිදි සිදු නොකොට සිදු කරගන්නා විවාහ තුළ සමහර විට මේ සුන්දර වූ සතුට සැපත අහිමි වී යන්නට ද පුළුවනි.

ප්‍රේම සම්බන්ධතා මත විවාහය සිදුවී කිසිදු ගැළපීමක් ගැන විශ්වාස නොකරන අය පවා කිසිදු ගැටලුවකින් තොරව සමාජයේ ජීවත් වනවායි සිතුව ද ඉන් බහුතරයක් තම ප්‍රශ්න සඟවාගෙන කිසිවෙකුට නොපවසා අනේක වාරයක් සිතින් ගතින් මනසින් දුක් විඳින බව සමාජයේ අපට දැක ගත හැකිය. ඔවුන් එසේ කල්ගත කරන්නේ තම දරුවන් සහ ඔවුන්ගේ අනාගතය ගැන සිතා කෙසේ හෝ පවුල් සංස්ථාව රැකගැනීමේ අරමුණෙනි.

විවාහය මූලික වශයෙන්ම ලිංගික ජීවිතය බාහිර පෙනුම ශාරීරික ශක්තිය ආදී පුද්ගල බද්ධ සාධක මෙන්ම අධ්‍යාපනික හා සමාජමය අගයක් ඇති ආධ්‍යාත්මික සම්බන්ධතාවයකින් යුත් බැඳීමක් ලෙස අර්ථ දැක්විය හැක.

අඹුසැමි දෙදෙනාගේ කායික හා මානසික ව්‍යුහයන් මනා ලෙස සංයෝජනය වේ නම් විවාහය වඩාත් ඵලදායී වේ.

මේ අනුව යුගදිවිය සාමාන්‍යයෙන් සමගියෙන් මෙන්ම සතුටින් සොම්නසින් ගත කිරීමට සියලු දෙනාම කැමැත්තක් දක්වයි.

නමුත් සෑම දෙනාටම තමන් බලාපොරොත්තු වූ ආකාරයට යුගදිවිය සුන්දර සාමකාමී එකක් ලෙස ගතකිරීමට හැකිවන්නේ නැත. වැඩි කාලයක් යෑමට පෙර තමාටම එපාවී හෝ කලකිරීමෙන් ජීවිත කාලය ගත කරනු දැක ගන්නට හැකි වී ඇත.

තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගික පදනම මතම රඳා පැවතීම ලිංගික ජීවිතයේදී දක්වන උනන්දුව මත ඔවුනොවුන්ගේ දයාබර බැඳීම ද ලියලා එනු ඇත.

ලිංගික උනන්දුව යනු දෙවැන්නා පිනවීමට පැවතිය යුතු උවමනාවයි. කෙළිලොල් බව තිබිය යුතුයි යන්න මෙහි වැදගත්ම කාරණාවකි. මළ මිනියක ස්වරූපයෙන් ඒ අවස්ථාවට මුහුණ දෙන බිරියක නිසා සමහරවිට මුළු විවාහ ජීවිතයේම අවාසනාවන්ත වූ පිරිමින් ගැන ද අප අසා ඇත.

මිනිසාගේ මානසික සමබරතාවය ගිලිහී යන්නේ තම පුද්ගලික ජීවිත සැලසුම් අවිධිමත් ලෙස සැලසී ඇති නිසාය. සංකීර්ණ ජීවන රටාවක් මත ගොඩනැගුණු විවිධ අවශ්‍යතාවයන් නිසා විවිධ වූ සාමාජීය ගැටලු නිර්මාණය වී තිබීම අරුමයක් නොවේ.

යුගදිවියේ සැපත සතුට රඳාපවතින්නේ සඳු, සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් බලවත් වීමෙනි. මෙම ග්‍රහයන් සතුරු, නීච රාශිගත වී ඇත්නම් යුගදිවිය තුළ තමන් බලාපොරොත්තු වන සතුට සැපත ඒ ආකාරයෙන්ම නොලැබෙනු ඇත.

මෙම ග්‍රහයන්ගේ දුබල බව පුරුෂයන්ට වඩා කාන්තාවන්ට අයහපත් ලෙස බලපානු ලබයි.

සඳු, සිකුරු දෙදෙනා නීච භාවයට පත්වීමෙන් කාන්තා ලාලිත්‍යය සෞම්‍යභාවය ඇයගෙන් ගිලිහී යන අතර ලිංගික ජීවිතය කෙරෙහි ඇති ප්‍රතිචාර අඩුකරයි.

විවාහය හා ලිංගිකත්වය යන සංසිද්ධීන් එකිනෙකට බැඳුණු විශ්ව බලවේගයකි.

එය හුදෙක් ප්‍රාථමික ලිංගික ක්‍රියාවලියකට සීමාවූ හුදු ඉන්ද්‍රීය පිනවීමක් පමණක් නොවෙයි ආධ්‍යාත්මික බැඳීමක්ද වනු ඇත.

මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ආවේගයන් සහ ආකර්ෂණය සුවිශේෂී බැඳීම හෙවත් ආදරයේ මූලික බලවේග වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.

ආදරය, නිර්මාණ ශක්තිය රඳාපවතින්නේ ආවේගයන් පාලනය කර ගැනීමට සමගාමීව ගොඩනැගෙන මානසික සමබරතාවය මතය.

මෙහිදී එකිනෙකා ලිංගික ජීවිතයට දක්වන ප්‍රතිචාරය මත එක් අයෙකුට එහි උපරිම තෘප්තිය විඳගැනීමට නොහැකි වීම තුළ ලිංගික ජීවිතය අසාර්ථක වනු ඇත.

විවෘත ජීවිතයක ලිංගික ජීවිතය ඉතාමත් වැදගත් වන අතර මෙවන් තත්ත්වයක් ඇති වූ විට යුගදිවියේ නොයෙක් ආකාරයේ අවුල් වියවුල් ඇතිවීම අරුමයක් නොවේ.

හත අධිපතියා පාපයන්ගෙන් දෘෂ්ටිය ලැබීමත්, අට අධිපති හත් වැන්නේ සිට පාප දෘෂ්ටි ලැබීමත්, හත්වැන්නේ පාපයන් සිටීමත්, පාපයන්ට පෙනීමත් හත්වැන්න පාපයන්ට පෙනෙද්දී හත අධිපති හය අට හෝ දොළහ යන ස්ථානයක සිටීමත් ඉතා අයහපත්ය. මෙම පිහිටීම් කේන්ද්‍රයක තිබේ නම් එය ද විවාහ සැපත හීන කරවන පිහිටීමකි.

ඒ වගේම රවි, සිකුරු යන ග්‍රහයන් හත්වැන්නට යහපත් නැත. 01/07/12 යන රාශිවල අසුබ ග්‍රහයන් සිටියදී සඳු හත්වැන්නේ දුබල වී සිටී නම් විවාහයේ සැපත අහිමි වී යයි.

ඒ වගේම ලග්නයෙන් හෝ චන්ද්‍ර ලග්නයෙන් හත්වැන්නේ සෙනසුරු වැනි ග්‍රහයකු පිහිටීම අශුභ වෙයි. එවැනි ග්‍රහ පිහිටීම් ඇති අයට ලැබෙන්නේ දුර්වල සහකාරයෙක් හෝ සහකාරියකි. ඔහු හෝ ඇය ලිංගික ජීවිතය අතින් බොහෝ දුරට දුර්වල වීමට ඉඩ ඇත.

එසේම සඳු නීච වී සිටියදී බ්‍රහස්පතිද හත්වැන්නේ සිටී නම් ඇය ලිංගික ජීවිතය කෙරෙහි ප්‍රියමනාප බවක් දක්වන්නේ විවාහ වී වසර කීපයක් ගතවීමෙන් පසුවය. එමෙන්ම බ්‍රහස්පතිගේ දෘෂ්ටිය හත්වැන්නට යොමුවීම තුළින් ද මේ සඳහා ඇති ප්‍රියතාවය බෙහෙවින් අඩුවනු ඇත.

කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ හෝ හත්වැන්නේ බ්‍රහස්පති ග්‍රහයා සෙනසුරු හෝ කේතු සමග හෝ සංයෝග වුවහොත් ලිංගික ජීවිතයට ඇති ආශාව උනන්දුව අඩුකරනු ඇත.

ආදරය ලිංගිකත්වය මත පමණක් නොව විවාහ ජීවිතය හා බැඳුණු බොහෝ සාධක කේන්ද්‍ර පරීක්ෂාව තුළින් විවරණය කර ගත හැකියි.

යෝජිත විවාහයක් මෙන්ම ප්‍රේම සම්බන්ධතා මත සිදු කෙරෙන විවාහයක් වුවද අවසානයේ කේන්ද්‍ර ගැළපීම මත සිදුකෙරෙන අවස්ථා බොහෝ විට දක්නට ලැබේ. ජන්ම කේන්ද්‍ර සටහනෙහි අසුබ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ සංයෝග ආදිය ඉතා ප්‍රබලව යෙදී ඇත්නම් පීඩාකාරී මානසික තත්ත්වයෙන් වුවද විවාහයන් ප්‍රතික්ෂේප කරන්නට වූ අවස්ථා අප කොතෙකුත් දැක ඇත.

මෙම සුන්දර වූ යුගදිවිය තුළ යුගදිවියේ සතුට සැපත රැඳී පවතී ද යන්න දෙදෙනාගේ කේන්ද්‍ර පරීක්ෂාව තුළින් බැලිය යුතුම අත්‍යවශ්‍යම කරුණක් වනු ඇත.

තෙරුවන් සරණයි!

ජ්‍යොතිර්වේදිනී
ආචාර්ය මනෝරී ලෙවන්ගම
‘ශ්‍රී ලක්ෂ්මි’ ජෝතිෂ්‍ය පර්යේෂණ ආයතනය, බණ්ඩාරවත්ත, ගම්පහ.
071-8213150 070-5038978

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here