යුක්‍රේන ජනපති හමුවීමෙන් පසු ට්‍රම්ප්, පුටින්ව විවේචනය කරයි

0
6


යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සමග පැවති සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති විලැඩ්මියර් පුටින් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

සාමය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයාට ඇති කැමැත්ත අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රශ්න කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා රෝමයට පැමිණි අවස්ථාවේදී අමෙරිකානු සහ යුක්‍රේන නායකයින් අතර කෙටි හමුවක් සිදුව තිබුණා. 

එහිදී ජනාධිපතිවරුන් දෙපළ විනාඩි 15ක පමණ කෙටි පිලිසඳරක නිරතව තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පසුගිය පෙබරවාරි මාසයේ ධවල මන්දිරයේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු නායකයින් දෙපළ හමු වූ පළමු අවස්ථාව මෙය වනවා. 

එම සිදුවීමෙන් පසු අමෙරිකාව සාම මාවතට පිවිසෙන ලෙසට රුසියාවට සහ යුක්‍රේනයට බලපෑම් එල්ල කරමින් සිටියා.

රෝමයේදී යුක්‍රේන ජනාධිපතිවරයා සමග සිදු වූ කෙටි හමුවෙන් පසු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් විට රුසියානු ජනාධිපතිවරයාට යුද්ධය නැවැත්වීමට අවශ්‍ය නොවන බවයි. 

ඉකුත් සතියේ කියෙව් නගරය වෙත රුසියාව එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විවේචනාත්මක අදහස් පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ අනුව යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කළ යුතු බවට තමන්ට හැඟීයන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here