යහපත් හෙටක් වෙනුවෙන් ‘රටම එකට’

0
1

මත්ද්‍රව්‍ය ජාවාරම ගෝලීයව සියලු ම රටවල් මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ මෙරට මුහුදු සීමාව තුළදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙරටට රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඇමෙරිකා ආණ්ඩුව මේ වන විටත් සිය රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට චෝදනා කරමින් ලතින් ඇමෙරිකානු රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව එම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති බව පසුගියදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක සටහන්ව තිබිණි.

මත්ද්‍රව්‍ය විකුණන – බෙදන අපරාධ ජාලයට එරෙහිව ගමේ ජනතාව නැගී සිටිය යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති රටම එකට වැඩසටහන හා එක්වෙමිනි. විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ මෙහෙයුම පිළිබඳව රටේ ජනතාව බලා සිටින්නේ බලාපොරොත්තු සහගතව ය. මන්ද දිනෙන් දින සිදුවන ඝාතන ජාලය පිටුපස ඇත්තේද මත් පාතාල ගැටුම බව නොරහසකි. අපේ අනාගතය බේරාගැනීම වෙනුවෙන් සැවොම රටම එකට මෙහෙයුමට සහය ලබා දීම අනිවාර්යය වගකීමකි. ඔක්තෝබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ ‘රටම එකට’ ජාතික මෙහෙයුම මඟින් කිලෝ 1400 මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබේ. පසුගිය කාලය පුරාම දිවයින පුරා සිදුකළ වැටලීම් 23,891කින් සැකකරුවන් 23,550ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඉහත කාලය පුරා තුළ සිදුකළ වැටලීම්වලදී අයිස් කිලෝ 650ක්, ගංජා කිලෝ 553ක්, හෙරොයින් කිලෝ 133ක්, මාවා කිලෝ 59ක්, හෂීෂ් කිලෝ 32ක්, කුෂ් කිලෝ 16ක් සහ මදනමෝදක කිලෝ 13ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තවදුරටත් සමාජ ගැටලුවක් පමණක් නොවන අතර එය වසංගතයක් බවට පත්වෙමින් තිබේ. එමෙන්ම මෙය අපේ ජාතියේ සෞඛ්‍යයට, ස්ථාවරත්වයට සහ අනාගතයට විශාල තර්ජනයකි. ශ්‍රී ලංකාවේ, මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්පානයෙන් පුද්ගලයන්ට, පවුල්වලට සහ සමාජයට සිදුවන විනාශකාරී ප්‍රතිවිපාක දශක හතරක පමණ කාලයක සිට ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. කිසිදු අපරාධකරුවකුට දේශපාලන රැකවරණ ලබා නොදෙන බව ජනපතිතුමා අවධාරණය කරන නිසා ආරක්ෂක අංශවලට සිය මෙහෙයුම් වඩා කාර්යක්ෂමව සිදු කළ හැකිය. මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට ආරක්ෂක අංශ ඇතුළු මුළු නිලධාරී යාන්ත්‍රණයත් සියලු ජනතාවත් ඒ දෙසට යොමු කරද්දී එම අවධානය වෙනතකට යොමු කිරීමට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිටි දේශපාලනඥයන් උපයාගත් මුදල් විශාල ලෙස වැයකරමින් මහජන උද්ඝෝෂණ පෙළපාලි හා වෙනත් දේ සංවිධානය කරන බව ජනාධිපතිවරයා තංගල්ලේදී වැඩිදුරටත් අවධාරණය කර තිබිණි. කවර බාධක පැමිණිය ද රට සුරක්ෂිත කිරීම වෙනුවෙන් මේ මෙහෙයුම් කිසිලෙසකින්වත් විය යුතු නොවේ. එය යහපත් අනාගතයක් වෙනුවෙන් කරන ආයෝජනයකි. ජනතාව වසරකට පෙර දේශපාලනයේ වෙනසක් වෙනුවෙන් සිය ඡන්දය ලබා දුන්නේ පූජනීය අරමුණකිනි. එනිසා රටම යහපත් වන්නේ රටම එකට සිටීමෙනි.

දැන් බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇත්තේද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා පිරිස වැඩිවීම නිසාය. බන්ධනාගාර පිරී යෑම රටට බරකි.

බන්ධනාගාරවල සිරකරුවන් 300% ඉක්මවා තිබේ. දිවයින පුරා පවතින බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ගණන 10,500ක් වන නමුත් මේ වන විට එම ධාරිතාව ඉක්මවා ගොස් බන්ධනාගාර තුළ 36,000ක රැඳවියන් ගණනක් සිටින බවත් වාර්තා වී තිබේ. බන්ධනාගාර පිරෙද්දී පොලිස් දෙපාර්තමේන්තුවේ ‘අලුත් නිලධාරීන්ගෙන් සියයට 15-20ත් අතර පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව’ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පවසා තිබිණි. මෙය ඛේදයක් නොවන්නේද? මත්ද්‍රව්‍ය හා සම්බන්ධ චෝදනා මත 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 68 දෙනකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට 80,000කට ආසන්න නිලධාරීන් පිරිසක් සේවයේ නියුතුව සිටින අතර තවත් සැලකිය යුතු නිලධාරීන් පිරිසක් බඳවා ගන්නට සූදානම් වන මේ මොහොතේ විනය විරෝධී නොවන, රාජකාරියට ඉතාම හොඳින් ගැලපෙන පිරිසක් බඳවා ගැනීමට රජය විශේෂ අවධානය යොමු කළ යුතුය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here