මෙවර යල කන්නය සඳහා වගා බිම් වෙත ජලය නිකුත් කිරීමේදී ගැටලුවක් පැන නොනගින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 76%ක් මේ වන විටත් ගබඩා කර ඇති බවය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා පිහිටි වාරි ව්‍යාපාර 376ක් මගින් අක්කර අට ලක්ෂ දෙසීයකට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයීමක් සිදුකරන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙවර යල කන්නය සඳහා එම මුළු වගා බිම් ප්‍රමාණයෙන් අක්කර 697,800ක් සැලසුම් කර ඇති ඇතැයිද සඳහන් කළේය.
ඉන් වී වගාව සඳහා අක්කර 651,000ක ප්‍රමාණයක් ද අතුරු භෝග සඳහා අක්කර 46,800ක ප්‍රමාණයක්ද සැලසුම් කර ඇති බවත් මේ සඳහා ජලය නිකුත් කිරීමේ ගැටලුවක් පැන නොනගින බවත් පැවසුවේය.
මේ වන විට ප්‍රධාන වාරි ව්‍යාපාරවල බිම් සැකසීම් සහ වගාවන් ප්‍රතිශ්ඨාපනය කිරීම් ආරම්භ කර ඇතැයිද පසුගිය අප්‍රේල් 01 වැනි දින ප්‍රධාන වාරි ව්‍යාපාර 205ක බිම් සැකසීම් කටයුතු නිම කර වගා කටයුතු ප්‍රතිශ්ඨාපනය කිරීම් ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් වගාබිම් 75ක බිම් සැකසීම් අවසන් කර වගාබිම් ප්‍රතිශ්ඨාපනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉතිරි වාරි ව්‍යාපාරවල යල කන්නයේ කටයුතු සිංහල අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇතැයිද ඒ මහතා පැවසීය.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සමග බිම් සැකසීම සඳහා යොදා ගන්නා ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ උණුසුම් කාලගුණික තත්ත්වය සමග ජලය වාශ්පීකරණය වැඩි වශයෙන් සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව හැකි සෑම විටම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය බිම් සැකසීම් සඳහා භාවිත කර ගැනීම ඉතා වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජල කළමනාකරණ කමිටු සහ අනෙකුත් කමිටු ජල පාලනය සම්බන්ධව ගන්නා තීරණ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම වැදගත් වනු ඇති බවත් මේ හේතුවෙන් සියලුම ගොවීන් සහ අදාළ ගොවි නිලධාරීන් ජල කළමනාකරණ කටයුතු උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු කිරීම ඉතා වැදගත් බවත් යල කන්නයට අදාළ ජල ප්‍රමාණවත් වීම සහ ඉදිරි කන්නයක් සඳහා ජල ප්‍රමාණයක් පානීය ජලය සඳහා ඉතිරි කර ගැනීමට ද හැකියාවක් ලැබෙනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
Saru News
















