යල කන්නයේ පොහොර දෙන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘත කෙරේ

0
3

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් වෙත පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතව තැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව සියලු නිවාඩු දිනවල සහ සති අන්තයේත් අදාළ ප්‍රදේශයන්හී ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය.

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පොහොර සැපයුමට සිදුවිය හැකි බාධාවන් සහ විවිධ පාර්ශ්ව විසින් පොහොර එක් රැස් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හේතුවෙන් වී වගාව සඳහා අවශ්‍ය අමිශ්‍ර පොහොර රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් නිකුත් කිරීමට රජය විසින් තීරණය කළ බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

මේ අනුව යල කන්නයේ වි වගාව ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පොහොර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් යූරියා පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 9,900-10,200 අතර මුදලකට අලෙවි කරන බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here