මොහ්සින් නක්වි සහ ඉන්දියන් ක්‍රිකට්

0
1

හිරු නොබසින අධිරාජ්‍යයෙන් ලොවට දායාද කළ “ක්‍රිකට්” මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ජනාදරයට පත්ව ඇත. ක්‍රීඩාවට තිබිය යුත්තේ ක්‍රීඩා කරන කාලය තුළ දෙපිල අතර තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ජයග්‍රාහී සටන්කාමීත්වය මිස, ජාතිභේදත්වය, වර්ණ භේදත්වය, භාෂා භේදත්වය හෝ රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් නොවේ. එය කිසිම ක්‍රීඩාවකට ක්‍රීඩකයන් හෝ ක්‍රීඩා බලධාරීන් හෝ රට රටවල්වල රාජ්‍ය නායකයන් ද හිස් මුදුනේ තබාගත යුතු ප්‍රශ්නයක් ද නොවේ.

ඇතැම් තරගවලදී තරගකාරීත්වය අනුව දෙපිලේ ක්‍රීඩකයන් අතර පිටිය මැද වචන හුවමාරු වන අවස්ථා අප දැක තිබුණ ද එය පිටිය මැදට පමණක් සීමාවෙයි.

2025 ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආසියානු ක්‍රිකට් බලවතා තෝරන තරගාවලිය ඇරැඹෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කාගේත් අවධානයට යොමුවන මාතෘකාවක් වෙමිනි. එහි වැඩි අවධානයක් යොමු වන්නේ ආසියානු තරගාවලියේදී ඉන්දියාවත් පාකිස්තානයත් මුහුණට මුහුණ හමුවීම නිසාය. ඉන්දු – පාකිස්තාන් හමුවීමක් දැක ගැනීමට ලැබෙනුයේ මෙවන් ශූරතා තරගාවලියකදී පමණක් වීම නිසා පසමිතුරන්ගේ සටනට ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවක් දක්වති.

දේශපාලන අර්බුද මුදුන් පමුණුවා ගෙන, ක්‍රීඩාව තුළට එය ඈඳාගෙන ඇරැඹි මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරග මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් කළේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගේ කනස්සල්ලට පත්වන සිද්ධි දාමයක් ඉතිරි කරමින්ය.

මෙවර 2025 විස්සයි – 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම පසුගිය (28 දා) සමත්විය. ඒ පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගනිමිනි. තරගය ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයකදී ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා මුණගැසී නොතිබූ අතර, එකිනෙකා හමු වූ පළමු අවස්ථාව වීමය.

මීට පෙර ඉන්දියානු කණ්ඩායම අවස්ථා 8කදී ආසියානු ක්‍රිකට් කිරුළ ජයගැනීමට සමත්ව සිටි අතර, එයට එක්දින කුසලාන 7ක් සහ විස්සයි-20 කුසලානයක් ඇතුළත් විය. පාකිස්තාන කණ්ඩායම අවස්ථා දෙකකදී ආසියානු ක්‍රිකට් ශූරයන් බවට පතව ඇති අතර, ඒ එක්දින තරග ආකෘතියෙනි. තවද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් විස්සයි -20 ආකෘතියෙන් පැවැති 3වැනි අවස්ථාව මෙය විය.

කෙසේ වුවද පාකිස්තානය පරාජය කරමින් ඉන්දියානු කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළද, කුසලානය ලබා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කළේය.

එයට හේතුව ලෙස දැක්වුණේ කුසලානය ප්‍රදානය කිරීමට නියමිතව තිබුණේ, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්වි අතින් වීමය. මොහ්සින් නක්වි යනු පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද වේ. තරගාවලිය ආරම්භවීමට ප්‍රථම ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ ආසියානු කුසලානය තමන් ජයග්‍රහණය කළද මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා නොගන්නා බවයි.

මෙහිදී විශේෂ සිදුවීමක් විය. සාමාන්‍යයෙන් තරගයක් අවසන්වී සුළු වේලාවක් අතරතුර ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ වේ. නමුත් ඉහත තරගය නිමාවී ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට පැයකට අධික කාලයක් ගතවිය.

එහිදී තරගයේ වීරයා ලෙස තිලක් වර්මා සම්මාන දිනාගනිද්දී, තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මා සම්මාන ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පකිස්තාන කණ්ඩායම තමන්ට හිමි ත්‍යාග හා සම්මාන ලබා ගැනීමට වේදිකාවට පැමිණියද, ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් කුසලානය ලබා ගැනීම සඳහා වේදිකාව වෙත පැමිණියේ නැත.

එයට හේතුව ලෙස සූර්යකුමාර් යාදෙව් ප්‍රකාශ කළේ මොහ්සින් නක්වි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා වීම සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වීම නිසා ඔහු අතින් කුසලානය ලබාගැනීමට තම කණ්ඩායමට නොහැකි බවයි.

නිමාව දුටු මෙවර ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හේතු රැසක් නිසා ක්‍රිකට් ලෝලීන් නොවන පුද්ගලයන් අතර පවා දැඩි කතාබහට ලක්වූහ.

ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයන්ගේ අංග චලන, අමුතු සැමරුම් ආදී විවිධ සිදුවීම් ඊට බලපෑ අතර, ඉන්දු – පාකිස්තාන ක්‍රීඩකයන් අතර ඇති වූ මතභේදාත්මක හැසිරීම් සම්බන්ධයෙන් ගොඩනැඟුණු තත්ත්වය මෙයට සෘජුවම බලපෑවේය.

එහිදී පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු වන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් ට සහ පන්දු යවන්නකු වන හාරිස් රාවුෆ්ට එරෙහිව ඉන්දියාවෙන් පැමිණිල්ලක් කර තිබිණි.

ඒ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයේදී (සැප්: 21) ඉහත ක්‍රීඩකයන් දෙදෙනා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඔවුන් චෝදනා කර තිබුණේ සහිබ්සාඩා ෆර්හාන් සහ හාරිස් රාවුෆ් ක්‍රීඩා පිටියේදී “ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු” බව ය.

ඉහත තරගයේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සහිබ්සාඩා ෆර්හාන් අර්ධ ශතකයක් වාර්තා කළේය. අර්ධ ශතකය රැස් කළ පසු ඔහු එය සැමරුවේ, පිත්ත ‘තුවක්කුවක්’ මෙන් අතේ තබාගෙන අහස දෙසට ඔසවමිනි.

මේ අතර, පාකිස්තාන පන්දු යවන්නකු වන හාරිස් රාවුෆ්ගේ ඡායාරූපයක් මාධ්‍යයේ දැඩි කතාබහට ලක්විය. එහි ඔහු ‘හය සහ බිංදුව’ පෙන්නුම් කරන බවක් අභිනයෙන් දක්වයි.

මෙම අභිනය පිළිබඳව, පාකිස්තාන අමාත්‍ය කවාජා අසිෆ් මෙසේ සටහන් කර තිබුණේ, “රාවුෆ්ගේ ප්‍රතිචාරය නිවැරදි යි. ක්‍රිකට් තරග දිගට ම පැවැත්වෙනවා, ඒත්, ඉන්දියාවට කවදාවත් 6/0 අමතක කරන්න බැරි වෙයි. ලෝකයත් එය මතක තබා ගනු ඇති” යන්නය.

රාවුෆ් එම අභිනයෙන් සංකේතවත් කළේ, ‘සින්දූර් මෙහෙයුම’ අතරතුර ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා වෙඩි තබා බිම දැමීමේ සිද්ධිය යි.

කෙසේ වුවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමර්ශනයක් සිදු කරනු ඇති අතර, අදාළ හැසිරීම් ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයට පටහැනි ද යන්න සොයා බලනු ඇත.

මේ අතර, දෙරට අතර පැවති පළමු තරගයේදී ඉන්දීය ක්‍රීඩකයන් අතට දී ආචාර නොකර ක්‍රීඩාංගණයෙන් නික්ම යෑම සහ තරගයෙන් පසු ඉන්දීය නායක සූර්ය කුමාර් යාදෙව් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබිණි.

(ACC) සභාපති වන මොහ්ඩින් නක්වි සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයක් නිසා තත්ත්වය තවත් දරුණුවී ඇති බව පෙනෙන්නට තිබේ. ඔහු පවසා ඇත්තේ “ඉන්දියාවට අවශ්‍ය නම් (ACC) කාර්යාලයට ඇවිත් මා අතින් එය රැගෙන යන්න, ඔවුන්ව මා සාදරයෙන් පිළිගන්නවා” යැයිද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

තවද අවසන් මහා තරගයෙන් පසු කුසලාන ප්‍රදානෝත්සවයේදී ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදු සමාවක් නොගන්නා බවට ද මොහ්ඩින් නක්වි වැඩිදුරටත් පවසා තිබිණි.

කෙසේ වුවද ඉන්දු – පාකිස්තාන් අලුයට තිබුණු ගිනි පුපුරු එළියට විසිවුණු ආසියානු ශූරතා පසමිතුරු සටන ඉන්දියාව ජයගනිමින් නිමාව දකින විට සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාවට එල්ල කළ කළු පැල්ලම් ප්‍රමාණය අති විශාලය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here