මේ හදන්නේ ක්‍රිප්ටෝ නීතිගත කරන්න ද ?

0
2

ක්‍රිප්ටෝ මුදල් ගැන මෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතයේ ඉහළ අවදානම ගැනත් අප මීට අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර ඇත. ඒ ගැන මහ බැංකුව විසින් මේ වන විටත් නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇත. දැනට ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට දැනට රට තුළ නීතියක් නැත. එහෙත් එහි අදහස වන්නේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය නීත්‍යානුකූල බවක් නොවේ. එනම් නීතියක් නැති නිසා ක්‍රිප්ටෝ මුදල් භාවිතයේ කිසිම ප්‍රශ්නයක් හෝ අවදානමක් නැති බවක් අදහස් නොවේ. මේ ආකාරයෙන්ම වර්ෂ 2003 තරම් ඈතදී මෙරට එක්තරා පිරමීඩ ජාවාරමක් පුළුල් ලෙස පැතිර ගියේය. එහෙත් ඒ වන විට පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ද රටේ නීතියක් තිබුණේ නැත. එවකට ඒ ගැන නීතියක් නොතිබුණත් එහි අවදානම සහ වංචනික ස්වභාවය නිසා එදා මහ බැංකුව විසින් ද මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් මහජනයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා මාධ්‍ය ද පුළුල් වශයෙන් සහාය දැක්වීම නිසා මීට එරෙහිව නීති ගෙන ඒමට විශාල බලපෑමක් ඇති කිරීමට එදා මාධ්‍ය සමත් විය. අද මෙන් නොව එදා මාධ්‍ය හා මහ බැංකුව පිරමීඩ ජාවාරම ගැන ඉතා සමීපව එක්ව කටයුතු කළ නිසා එවකට කාටත් අලුත් වූ මේ ජාවාරම් ගැන පුළුල් ලෙස මහජනයා දැනුවත් වූ අතරම 2005 වර්ෂය වන විට මෙය නීතියෙන් ද තහනම් විය. ක්‍රිප්ටෝ මුදල් භාවිතය පිරමීඩ් ජාවාරමට සමාන කළ නොහැකි වුවත් මේ ගැන ද දැන් යම් යම් ප්‍රතිපත්ති තීන්දු ගත යුතුව තිබේ.

මේ අප සඳහන් කරන්නේ ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාකළ යුතු ආකාරය ගැන රජය විසින් සහ මහ බැංකුව හා අදාළ බලධාරීන් විසින් යම් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගත යුතුව ඇති බවයි. අප විශ්වාස කරනුයේ මේ ගැන රජයටත් එසේම ගෙවීම් පියවීම් කටයුතු සම්බන්ධයෙන් මහ බැංකුවටත් වගකීම් ඇති බවයි. පසුගියදා මහ බැංකුවේ මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගැන ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මහ බැංකුව විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කරන ලෙස රජයට යෝජනා කර ඇති බවයි. ඒ යෝජනාව මහ බැංකුව විසින් ලිඛිතව රජයට ඉදිරිපත් කර ඇත. ඒ දැනුම්දීම මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කළේ කවදා ද යන්න, එම මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයාගෙන් විමසුවත් එයට පිළිතුරක් නොලැබිණි. කෙසේ හෝ මහ බැංකුව විසින් රජයට කළ එම ඉහළ පෙළේ කමිටුවක් පත්කිරීමේ යෝජනාව ගැන රජයේ එකඟතාවක් ඇති බවට අපට ආරංචි ඇතත් ඒ යෝජනාව අනුව තවමත් රජය පැත්තෙන් එවැනි කමිටුවක් පත්කර ඇති බවක් අපට මේ වන විටත් දැන ගැනීමට නැත. එසේම මේ සම්බන්ධයෙන් (අතථ්‍ය වත්කම් / virtual currency) මහ බැංකුව විසින් මීට පෙරත් කමිටුවක් පත්කර තිබී ඇති බවට ද අපට තවදුරටත් දැන ගැනීමට ලැබී ඇත. අප දැනටමත් දන්නා පරිදි ක්‍රිප්ටෝ මුදල් යනු, රටක රජයේ හෝ පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පෞද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් (virtual currency) වේ. ඒ නිසා මහ බැංකුව පෙර පත් කළ බව කියන කමිටුව නම් කිරීමේ දී ද virtual currency යන වචනය භාවිතා කර ඇත. කෙසේ හෝ අපට දැන ගැනීමට ඇත්තේ, මේ කමිටුවේ වාර්තාව 2021 වසරේ දී මහ බැංකුවට ඉදිරිපත් කර ඇති බවයි. එසේ නම් එම කමිටු වාර්තාව මගින් යම් යම් නිර්දේශ ඉදිරිපත් කරන්නට ඇත. එසේ නම් එම නිර්දේශ ඇතුළත් වාර්තාව දැනටමත් මහ බැංකුව සතුව තිබෙනවා විය යුතුය.

එම කමිටුවේ නිර්දේශ මොනවා ද සහ එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු වූයේ රජය විසින් ද, මහ බැංකුව විසින් ද එසේත් නැත්නම් දෙපාර්ශ්වය විසින්ම ද යන්නත් අපට පැහැදිලි නැත. ක්‍රිප්ටෝ මුදල් භාවිතය ගැන යම් යම් නීති පැනවිය යුතු නම් හෝ පවතින අණපනත් වෙනස් කිරීමක් අවශ්‍ය වූයේ නම් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ රජයටය. එසේම එම කමිටුවේ නිර්දේශවලින් ගෙවීම් සහ පියවීම් ක්‍රම ඇතුළුව මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව ක්‍රියාත්මක විය යුතුව තිබිණි. ඒ සඳහා මහ බැංකුව යම් ආකාරයකට ක්‍රියාත්මක වී තිබේ ද? එසේ නම් එම නිර්දේශ ගැන රජය විසින් හෝ මහ බැංකුව විසින් මේ වන විටත් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබේ ද යන්න රටට පැහැදිලි කිරීමක් සිදු කිරීම වැදගත්ය.

දැන් මේ වන විට ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් අලුත් කමිටුවක් පත්කිරීමට මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර ඇත. ඒ සමගම මතුවෙන ප්‍රශ්නය වන්නේ කලින් කමිටුවට සිදු වූයේ කුමක් ද යන්නයි. මීට පෙර මහ බැංකුව විසින්ම එසේ කමිටුවක් පත්කර තිබියදී දැන් තවත් කමිටුවක් ඒ සඳහා පත් කිරීමට මහ බැකුව විසින් අලුතින් රජයට යෝජනාවක් කරන්නේ කුමන හේතුවක් නිසාද යන ප්‍රශ්නය මෙහිදී අපට මතුවේ. කලින් කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2021 වසරේ නිසා ඒවා මේ වන විට වලංගු නැද්ද? කලින් පත්කර තිබූ එම කමිටුවේ සියලුම සාමාජිකයන් හොඳින් සුදුසුකම් ලත් අය බව ද පැවසේ. එසේ නම් මේ කාරණය ගැනම වෙනම කමිටුවක් අලුතින් පත් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ ද ? තවත් කමිටුවක් පත් කරමින් මේ ගැන අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට නැවත කල් මරනවා ද, එසේත් නැත්නම් ඒ වෙනුවට දැනටමත් ඇති එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරනවා ද යන ප්‍රශ්නය අපට මහ බැංකුවට යොමු කිරීමට ඇත. මේ සඳහා අලුතින් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය නම් දැනටමත් ඉදිරිපත්ව ඇති කමිටු වාර්තාව (එහි නිර්දේශ) යෝජිත එම නව කමිටුව විසින් අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් වනු ඇත.

පසුගිය මාධ්‍ය හමුවක දී ප්‍රකාශයට පත් වූ පරිදි Cryptocurrency (අතථ්‍ය මුදල්) සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමට ක්‍රමවේදයක් ඇති කිරීමට මහ බැංකුව දැනටමත් සැලසුම් කර ඇත. අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සමීපව අධීක්ෂණ කිරීමට මේ නිසා හැකියාව ලැබෙනු ඇත. එය මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යටතේ සිදුවනු ඇත. ඒ ගැන මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වන විටත් ප්‍රශ්නාවලියක් නිකුත් කිරීම මගින් සමීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ ගැන මහ බැංකුවේ පසුගිය මාධ්‍ය හමුවේ දී මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරියෙක් විසින් කරුණු අනාවරණය කළේය. ඔහු කියා සිටියේ ඒ සඳහා දැනටමත් හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. මේ හරහා ලැබෙන තොරතුරු මගින් අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (virtual Assets Service Providers / VASP) හඳුනා ගැනීම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අපේක්ෂාව විය හැකිය.

මින් දැනට රට තුළ සිටින Virtual assets service providers යන අයට මූල්‍ය බුද්ධි ඒකකය යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව ලැබේ. එසේ ලියාපදිංචි වූ පසුව එම සේවා සපයන අයට ඒ සේවා ගැන මූල්‍ය බුද්ධි ඒකකය වෙත තොරතුරු වාර්තා කිරීමට වගකීමක් ඇති වේ. මෙලෙස අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යන්නේ ක්‍රිප්ටෝ මුදල්, මුදල් විශුද්ධිකරණය වැනි අකටයුතුකම් සඳහා යොදා නොගන්නා බවට සහතික කර ගැනීමටය. මේ ගැන තොරතුරු පසුගිය සැප්තැම්බර් 24 වැනිදා මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේ දී ද අනාවරණය විය. මේ අනුව අපට වැටහෙන්නේ දැනට මේවාට ගෙවීම් කිරීම සම්න්ධයෙන් කිසියම් නියාමනයක් කිරීමට බලධාරීන් සූදානම් වන බවයි.

ඔබ අන්තර්ජාලයේ සැරිසරන්නෙකු නම් අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන අසා ඇතුවාට කිසිම සැකයක් නැත. ඔබට ඒ ගැන දැනුමක් නොමැති විය හැකි වුවද ඔබ ‘ක්‍රිප්ටෝ මුදල්’ ගැන නොඇසූ අයකු වීමට ඇති ඉඩ ඉතාම අඩුය. ෆේස් බුක් සහ වට්ස්ඇප් ඇතුළු සියලු සමාජ මාධ්‍ය ජාල හරහා මේ වන විට විවිධ පාර්ශ්ව විසින් ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය ප්‍රවර්ධනය කරනු ලබන බව ඔබ දැක ඇත. එසේම ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම සහ ඒවායේ ප්‍රතිලාභ හා වාසි ගැන උගන්වන වීඩියෝ කොතෙකුත් ඇත. ඒ සඳහා ඔන්ලයින් පන්ති සහ වැඩමුළු ද ඇත. සෑම සමාජ මාධ්‍ය වේදිකාවකම පාහේ මේ ප්‍රවර්ධනයන් ඕනෑ තරම් දැකගත හැකිය. ඒවා ඉතාමත් ආකර්ෂණීය ආකාරයේ ප්‍රවර්ධනයන් බවත් කිව යුතුය. ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයන් සහ ව්‍යාපාර විසින් මෙසේ පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලැබුවත්, මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී ගොස් ඇත්තේ, එසේ කළ ආයෝජනවලින් බොහෝ දෙනෙක්ට විශාල මූල්‍ය පාඩු සිදු වී ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවන්වලට ද ඇතැම් අය හසු වී ඇත. රටේ මේ ගැන දැනට නීතියක් නැති නිසාත් මෙහි ඇති ඉතා අවදානම් සහගත ස්වභාවයත් නිසා, මේ ගැන ඔබ නිසි පරිදි දැනුවත් වීම ඉතාමත් වැදගත්ය. ඔබ ඔබේ කැමැත්තෙන්ම මේවායේ ඔබේ මුදල් ආයෝජනය කරනවා නම් එසේ කිරීමෙන් ඔබට සිදුවෙන ලොකු හෝ පොඩි කවර මට්ටමේ හෝ පාඩු විඳදරා ගැනීමට සිදු වන්නේ ද ඔබටමය. ඒ ගැන පසුව කිසිවකුටත් වගකීම පැවරිය නොහැකි බව ද ඔබ මතක තබාගත යුතු වේ.

ඇතැම් අය තම මුදල් ආයෝජනය කර වත්කම් ලෙස ක්‍රිප්ටෝ මුදල් තබාගෙන සිටී. පසුගිය දා මේවා ගැන සමාජයේ ලොකු කතාබහක් ද ඇති විය. එයට හේතු වූයේ රජයේ ඇමැතිවරයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් තුළ ද ඔහුට ක්‍රිප්ටෝ මුදල් ඇති බවට යම් වටිනාකමක් සඳහන් කිරීමයි. ඔහු ඒ සඳහා ගෙවීම් කළේ කවර ආකාරයට ද යන්න අප දන්නේ නැත. එහෙත් අපට මහ බැංකුවෙන් දැන ගැනීමට ඇත්තේ ක්‍රිප්ටෝ මුදල්වල තම සල්ලි ආයෝජනය කිරීමට මෙරට බැංකු ක්‍රමය හරහා ඉඩක් නැති බවයි. එනම් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිත කිරීමට ද අවසර හිමි නොවේ. මේ නිසා ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය බොහෝ විට අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වනවා ද විය හැකිය. එසේ නම් එසේ අවිධිමත් මාර්ග හරහා වන ගනුදෙනුවලින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් නොලැබෙන අතර රටට වටිනා විදේශ මුදල් මේ නිසා අහිමි වීම ද සිදුවනු ඇත.

මේ පසුබිම තුළ රජයේ ඇමැතිවරයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඇති ක්‍රිප්ටෝ මුදල් සඳහා ඔහු ගෙවීම් කළේ කෙසේ ද යන ප්‍රශ්නය අපට මතුවේ. මෙවැනි වූ තවත් අනාවරණය නොවූ බොහෝ දේවල් ද මේ සම්බන්ධයෙන් තිබිය හැකිය. මෙරට ක්‍රිප්ටෝ මුදල් මිලදී ගත් තවත් බොහෝ දෙනෙක් සිටිනවා ද විය හැකිය. ඒ සියලු දෙනා ඒ සඳහා ගෙවීම් කළේ කෙසේ ද යන්න සෙවීම පුළුල් විමර්ශන කටයුත්තක් විය හැකිය. කෙසේ හෝ ඇතැම් අය මෙලෙස ‘ක්‍රිප්ටෝ මුදල්’ වත්කම් ලෙස තබාගෙන සිටියත්, ඒවා මෙරට ගනුදෙනු සඳහා යොදාගත නොහැකිය. ලංකාවේ ගනුදෙනු සඳහා අනුමත ව්‍යවහාර මුදල ශ්‍රී ලංකා රුපියල් පමණි. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි ක්‍රිප්ටෝ මුදල් වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් ද නොපවතී. ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතරම, ඒවා නියාමනය නොවන ආයෝජන උපකරණයක් ලෙස ද සඳහන් කළ හැකිය.

අනෙකුත් ව්‍යවහාර මුදල් මෙන් මේ ක්‍රිප්ටෝ මුදල් භෞතිකව පරිහරණය කළ හැකි ඒවා නොවේ. ඒවා අප එදිනෙදා ගනුදෙනුවලදී භාවිත කරන භෞතික මුදල් මෙන් භාවිත කළ නොහැකි බව එහි අදහසයි. මේවා අන්තර්ජාලය හරහා සිදු කරන ගනුදෙනුවලදී භාවිත කරනු ලබයි. ඉතා ප්‍රචලිත Bitcoin (BTC) මෙන්ම, Ethereum (ETH), Binance Coin (BNB), USD Coin (USDC) ආදිය මේ වන විට ක්‍රිප්ටෝ මුදල් ලෙස භාවිතා වෙමින් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here