මේ සංස්කෘතිය ඔළුවෙන් හිටවන්න කාටවත් බෑ!

0
2

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ (03දා) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේ පැවැති, නාරම්පනාවේ ආනන්ද අනුනාහිමියන්ට අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි ධුරය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙලේදී මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය අබියසදී සපථ කළේ මේ ආණ්ඩුව චිරාගත ජාතික සංස්කෘතික හර පද්ධතීන්වලට පිටුපාමින් රට පාලනය නොකරන බවය. එය මෙරටේ රාජ්‍ය නායකයකු විසින් ඓතිහාසික මඟුල් මඩුවේදී කරන ලද ප්‍රකාශයක් ලෙසද ඉතිහාසයට එක්වනු ඇත. ජනාධිපතිවරයාගේ මෙම ඓතිහාසික ප්‍රකාශයට නිමිති වූයේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධනය සඳහා එම කාර්යාංශයේ සභාපතිවරයා වූ බුද්ධික හේවාවසම් විසින් කරන ලද බැව් සඳහන් කරුණක් සම්බන්ධ ලිපියකට මහනාහිමිවරුන් විරෝධය දක්වා එවූ සන්දේශයකි. මල්වතු – අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ නිකායවල මහනායකවරුන්ගේ අත්සන් එයට යොදා තිබුණු අතර එය ජනමාධ්‍යවලට ද නිකුත් කර තිබුණි. මෙම සංචාරක ප්‍රවර්ධනය ගැන කතෝලික සභාවද විරෝධය දක්වා තිබුණු අතර මැල්කම් රංජිත් කාදිනල් තුමා එය ප්‍රසිද්ධියේම හෙළා දුටහ. කාදිනල් තුමා අනුමාන කළේ මේවා ආණ්ඩුවේ ලොකු උදවිය නොදැන සිදුවිය හැකි බවය.

ජනාධිපති අනුර කුමාර මෙන්ම සංචාරක ඇමැති විජිත හේරත් පමණක් නොව ජවිපෙ මහලේකම් ටිල්වින්ද පවසා තිබුණේ මෙය ආණ්ඩුව නොදැන නිලධාරීන්ගෙන් සිදුවූවක් බවය. ටිල්වින්ට අනුව තවමත් ඇතැම් පැරණි රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක් සිටීම නිසා මෙබඳු දේවල් වළක්වාලීමද අපහසු කතාවකි. එහෙත් ඒවා නිකම් පතෝල කතන්දරය. මේ සංචාරක සභාපති ආණ්ඩුව නොතකා ක්‍රියාකිරීමට තරම් බලවතෙක් දැයි අපි නොදනිමු. එහෙත් මේ පත්වීම ආණ්ඩුව නොකළ එකක් නොවිය හැකිය. කුමක් වුවත් මෙවන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට තරම් ඒ සභාපතිවරයා බලවතෙක් බව නම් පෙනේ.

අදාළ ඇමැතිවරයා හෝ ඔහුගෙන් මෙම ලිපිය ගැන නිදහසට කරුණු විමසීමක් හෝ කළ බවක් මේ ලියන මොහොත වන විටත් වාර්තා වූයේද නැත. එසේම ආණ්ඩුව පැත්තෙන් මොන ප්‍රකාශ සිදුවූවත් මේ සමලිංගික හිසේ රුදාව මීට පෙර ආණ්ඩුවලින්ද එළියට පැන්න අවස්ථා අපට මතකය.

සංචාරකයන් රටකට එන්නේ විවිධ අරමුණු සඳහාය. කලකට පෙර සංචාරකයන් පිනවීමට මෙරටේ දරුවන් අලෙවි කිරීමේ සිදුවීම් ගැනද මාධ්‍යවල වාර්තා විය. තවත් විටෙක කිරිදරුවන් විකිණීමේ ජාවාරම් ගැනද හෙළිවී තිබේ. මේවා ඉතා සියුම්ව සිදුවන සදාචාර විරෝධී ක්‍රියා බව කවුරුත් දනිති. කාන්තා සමලිංගික, පුරුෂ සමලිංගික, ද්වි ලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික වැනි අසාමාන්‍ය බහුවිධ ලිංගික ක්‍රියා කෙරෙහි යොමු වූවෝ දුලබව හෝ සිටිති. මේ කණ්ඩායම් හැඳින්වීමට LGBTQIA යනුවෙන් යෙදුමක්ද තිබේ. ආණ්ඩුවේ සංචාරක ප්‍රධානියා ලියා තිබුණේද එබඳු පිරිස් නියෝජනය කරන “ඉක්වල් ග්‍රවුන්ඩ්” නමැති සංවිධානයකට බවද කියනු ඇසුණි. කොහොම වුණත් සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමට මෙරටේ සංස්කෘතික වටිනාකම්වලට හා සභ්‍යත්වයට කෙළ ගැසීමට කිසිදු බලධාරියකුට ඉඩදිය යුතු නැත. සමරිසියන් හෝ ඕනෑම අයෙක් ඉඹලා පිළිගැනීමට වුවද කෙනෙකුට පෞද්ගලිකව බාධාවක් නැත. එහෙත් මේ වර්ගයේ වෘෂභ යෝජනා කරන නිලධාරීන් ඔඩොක්කුවේ දමාගැනීම කවර ආණ්ඩුවක වුවද ආයු පිරිහීමට හේතු වන බව පමණක් කියා නිහඬ වන්නෙමු.

ජනාධිපති අනුර කුමාරට එදා මේ ආණ්ඩුව පැටලී සිටින අනෙක් පඹගාල වන දණ්ඩ නීති සංශෝධනය ගැනද පැහැදිලි කිරීමට සිදුවිය. එහිදීත් ජනාධිපතිවරයා දැක්වූ ප්‍රබුද්ධ විලාසයත්, නම්‍යශීලී බවත් මේවා කර තබාගෙන යන ඇත්තෝ ආදර්ශයට ගතයුතු වෙති. මේ සංශෝධන පනත ජනතාවගේ ද විරෝධයකට ලක්ව තිබේ. අධ්‍යාපනයේ නිරත විවිධ පාර්ශ්ව මෙය ප්‍රසිද්ධියේ හෙළා දකිති. ඇත්තටම රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යය. එහෙත් එය අහසින් කඩා වැටෙන සැලසුම් මගින් කළ යුතු නැත. විදුලිබිල සංශෝධනයට ද ජනමතය විමසන රටක මෙවැනි සමස්ත ජාතියේම දරුවන්ගේ ඉරණම තීන්දු කෙරෙන ප්‍රතිසංස්කරණයකද ජනතා අදහස් අවශ්‍ය නොවේද? දරුවන්ට වධහිංසා කළ හැක්කේ දෙමව්පියන්ට ගුරුවරුන්ට නොව ඒ වෙසින් සිටින අමනයන්ට පමණි. තුන් හැවිරිදි දැරිය කෙලෙසූ අමන මාමා කෙනෙකු හිරිගෙදර ගිය පුවතක්ද වාර්තා විය. එබදු අධමයන්ට දිය යුත්තේ අරාබි ක්‍රමයේ දඬුවම් බව පවසන අයද සිටිති. සිංහල රජ කාලේ දඬුවම් ගැනද කියනු ඇසෙයි. එහෙත් අද මානව ශිෂ්ටාචාරය ගලා යන්නේ ඒ සමාජවල තිබුණු ඇතැම් පසුගාමී යැයි කියැවෙන දේවල් ඉවත් කරමින් මානව හිමිකම් පුද්ගල අයිතිවාසිකම් ආදී කතිකාවන් විසින් ප්‍රතිසංස්කරණයට ලක් කරන ලද විවෘත සමාජයක රිද්මයකට බවද අපි දනිමු. සංස්කෘතික නවීනත්වය යන යෙදුම අද භාවිත වන්නේද අලුත් සංස්කෘතික සමාජ වටිනාකම්ද පැරණි සමාජ හර පද්ධතීන් සමග ගැටෙන හා මුසුවන පසුබිමකය.

බෞද්ධ සමාජය පිළිගත් පංචශීල ප්‍රතිපදාව සම්මතයකි. හොඳ නරක සංකල්පද එබඳු ආචාර ධාර්මික සමාජයක ප්‍රතිපදාවන්ය. විවිධ ඇදහිලි – විශ්වාස සමග බැඳුණු ආගම් හා සංස්කෘතීන්ද තිබේ. ජාතික සමගිය යනු ඒ සංස්කෘතික හා භාෂා අනන්‍යතාවන්ට ගරු කරන ශිෂ්ට සමාජයක විදග්ධ පිළිවෙළකි. ඇතැම් බෞද්ධ ගෙයක – විශේෂයෙන් ගොවි

ගෙදරක ගවමස් පරිභෝජනයට නොගනී. එහෙත් ඒ ගෙදරක වුවද අසාධ්‍ය රෝගියෙකුට ගව පීකුදු වැනි ආහාරයක් වෛiවරයකු විසින් නිර්දේශ කළහොත් එය පිළිගැනීමටද සිදුවේ. මත්පැන් නොබොන බවට පන්සිල් ගන්නා බොදු නිවෙස්වලද මත් වතුර සාද තිබේ. කිතුනුවන්ට එබඳු බාධාවක් නැත. සංස්කෘතිය යනු කෑම, ඇදීම, වස්ත්‍ර, සිරිත් විරිත් ආදී සියල්ලම ඇතුළත් සම්මුතියකි. සිනා නොමසෙන් දසන් දක්වා සළු ඇඳ බොලට දක්වා යනු එකල සම්මතයයි. අද ඒ සංස්කෘතිය වෙනස් වී තිබේ.

මහගමසේකර කවියා කලකට පෙරම ඒ වෙනස දුටුවේය. ඔහු ලියා තිබුණේ “පුමිතිරු” භේදයක් නැති තරුණ තරුණයින් සිටින බවය.

“සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස්වලු ඇති
පුම ඉතිරි ලිඟු වෙනස නැති
යන එන මඟක් නොමදැන
අතරමං වූවන් මෙන

-ප්‍රබන්ධ-

මහගමසේකර දශක කීපයකට පෙර දුටු සංස්කෘතික විපර්යාසය අදත් සමාජය තුළින් දැකගත හැකිය. එහෙත් ආණ්ඩුවක් ඒ විකෘතීන්වලින් ඔල්මාද කරන නිලධාරීන්ට ඉඩ නොදිය යුතුය. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් චෝදනා කළේ මේ ක්‍රියාමාර්ග රට වනචාරී යුගයකට ඇදගෙන යන ඒවා බවය. රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම ඉවත් කළ යුතු බවද ඔවුන් එම පුටුවල තබාගෙන මේ සමාජය විනාශ කිරීමට ඉඩදීමට නොහැකි බවද උන්වහන්සේ පවසා තිබුණි. මේ ආණ්ඩුවේ සමහර පුද්ගලයන් අපේ හර පද්ධතිය විනාශ කරමින් රට විනාශකාරී මාවතකට ගෙනයන බව කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ඩී. වීරසිංහද කියා තිබේ.

පසුගිය යුගවල මේ රට විනාශ කළ එක් පෙළැන්තියක් ලෙස දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ වළල්ල ගැන මේ ආණ්ඩුවත් රටට කියනු ඇසෙයි. අද මේ ආණ්ඩුවට අපවාද අවලාද විඳීමට සිදුවී ඇත්තේත් එදා ඔවුන් විසින් වේදිකාවල විවේචනය කරන ලද ඒ පන්නයේ නිලධාරීන් නිසා නොවේද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කමිටුවේ රංග දිසානායකට එල්ල වන විවේචන ඇසෙයි. ඒවාට ප්‍රතිචාර දැක්වීම ඒ පත්වීම් කළ ආණ්ඩුවේ වැඩකි. තනතුරුවලට පත්වීම් දීමේදී මේ ආණ්ඩුවට විවේචන එල්ල වන්නේද ඒවා මහින්දලා රනිල්ලා කළ ආකාරයටම සිදුවෙන නිසාය. සිය නිලබල යොදා රටම ගඳ ගැස්ස වූ පාලනයක් ගෙනයන අයගේ විවේචන ජනතාව භාර ගන්නේද නැත. එහෙත් ඒවායින් ජන මනස තුළ කුකුසක් ඇතිවීමද ස්වභාවිකය.

මේ දිනවල මිද්දෙණිය වටා කැරකෙන අයිස් ජාවාරමක්, තාජුඩීන් ඝාතනයේ සිදුවීම් ගැනත් ජනතාව බලා සිටිති. අසා සිටිති. එහෙත් ඒවා දෙපසට බෙදී බැණ අඬගසා ගන්නා මාධ්‍ය සංදර්ශනවලට වඩා වෙනසක් නැත. කිසියම් විමර්ශන කටයුත්තක් නිමවීමට පෙර ආණ්ඩුවේ කවුරුන් හෝ තමන්ට දික්කරන මයික්‍රෆෝනයට මොනවා හෝ දෙඩවීම දැන් විකාරයක් වී තිබේ. අනෙක් පාර්ශ්වය කරන්නේත් එයමය. වැරදි නම් අත්අඩංගුවට ගතයුතු බවට විපක්ෂය කියන කතාවද ඇත්තය.

ජවිපෙන් ඉවත් වූ හෝ පන්නා දැමූ අය හෝ කියන කතාවල වලංගු භාවයක් නැත්නම් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට ඉඩ දිය යුතු නැත. අපට පෙනෙන ආකාරයට නම් විපක්ෂයේ විවේචනවලින් තහවුරු කිරීමට යන්නේ මේ ආණ්ඩුවටද අශුද්ධ, කිලිටි ක්‍රියාකාරකම් තිබෙන බවය. ඒ අයත් අපත් එක හා සමාන බවය. අප දකින්නේ ඕපාදූපවල අලුත් තිර පිටපත් විය හැකිය. එහෙත් ඒවා සමාජගත වීමෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානි සිදුවේ.

ජනාධිපති අනුර තවමත් ඔහුට හිමි වූ ජනප්‍රියත්වය, ගෞරවය රැකගැනීමට සමත් වී සිටියි. ඔහු කතා කරන්නේද හිතේ එකක් හංගා ගෙන නොවේ. මල්වතු මහනාහිමිවරුන් අබියස පසඟ පිහිටුවා වඳින රාජ්‍ය නායකයකු ජනතාවට පෙනේ. එය ව්‍යාජයක් නොව අතිශය අව්‍යාජ ප්‍රතිචාරයකි. දණ්ඩ නීති සංශෝධනය පිළිබඳ ජනාධිපති අනුර පැවසූ කතාව කවුරුත් පිළිගනිති. එහි වංගු ගැසීමක් නැත. සංශෝධන යළි සකස් කරගත හැකි බවත් ජනතාවට එපා නම් වීසිකර දැමිය හැකි බවත් ජනාධිපතිවරයා නොපැකිළිව පවසයි. එහෙත් අගමැතිනිය ඒ සම්බන්ධයෙන් එබඳු විවෘත භාවයක් නොදක්වයි. විශ්ව විiාල ක්ෂේත්‍රයෙහි කලක් සිටි මගේ ද ගුරුවරයකු කී කතාවක් මට සිහිවෙයි. රත්තරන් පිහිය කියා එයින් ඇනගැනීමට නොහැකි බව ඔහු කීවේ මගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

මේ වනවිට රනිල් හා මහින්ද නොමැතිව රට ගෙනයා නොහැකිය යන තේමාව ඔස්සේ සිදුවන ව්‍යාපෘති දෙකක් ද වේ. අවසානයේ දී වුවද මේ දෙක එකට පෑහීමට නොහැකි වන්නේ සජිත් හා නාමල් නිසා බව දේශපාලන විඥානයක් සහිත කාටත් පෙනී යන්නකි. මේ සියල්ලන්ම එක් වන්නේ අනුර කුමාර ජනාධිපතිටත් ඔහුගේ ආණ්ඩුවටත් එරෙහිවය. එහෙත් මෙසේ එක්වන පිරිසේ සංයුතිය දෙස බලන ප්‍රබුද්ධ පුරවැසියකුට බොහෝ නිගමනවලට එළැඹිය හැකිය. මේ බොහෝ දෙනෙක් පසුගිය කාලවල ඇමති පදවි හෝ වෙනත් නිලතල හෙබවූ අය වෙති. අද ඔවුහු විවේචකයෝ බවට පත්ව සිය අපකීර්තිමත් ඉතිහාසයත්, අවලස්සන දේශපාලන මෙහෙයුම් ආදියත් වසා ගැනීමට තැත් කරති. උනුත් එකයි – මුනුත් එකයි – අපි ඔක්කොම එකයි යන්න ජන මනසට කිඳාබැස්සීමේ ප්‍රයත්නයක් අද තිබේ.

ජනාධිපති ධුර කාලයෙන් දැන් වසරක් ගෙවී අවසන්ය. ඉදිරි සිව් වසර තුළ සියල්ල කළ නොහැකි වුවද ජනතාවට දැනෙන වෙනසක් කිරීම අසීරු නැත. ආණ්ඩුව ජනතාවට දුන් අතිශය වැදගත් ප්‍රතිඥාවක් වූයේ අලුත් එසේම රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා යහපත් මැතිවරණ ක්‍රමයක් ගෙන එන බවය. අද තිබෙන බොහෝ දෝෂවලට මුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජනාධිපති ක්‍රමය විසින් ද ඇතිකර තිබෙන ඇතැම් ක්‍රමවේද බව පෙනේ. ඒවා සංශෝධනය යනු ලේසි පහසු දේවල් නොවේ. නීති ක්ෂේත්‍රයේ ඉහළම දායකත්වය මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ජන කොටස් නියෝජනය කරන දේශපාලන අංශද එහිදී ක්‍රියාශීලීව සම්බන්ධ වී සිටිය යුතුය.

මේ තිබෙන ව්‍යවස්ථාව එජාපය දෙස බලා එහි මිම්මට අනුව සකස්කර ගත්තක් බවට ප්‍රබල විවේචනයක් තිබේ. මේ පවතින ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට සරදමකි. සීමානිර්ණ කොමිසම මැදිහත්වූ ක්‍රියාදාමය ඉදිරියට නොගිය බව මහින්ද දේශප්‍රියම කියා තිබුණි. පළාත් පාලනවල විශාල නියෝජිත පිරිසක් සිටිති. දැන් විපක්ෂවල ඉලක්කය පළාත් සභාවලට මොන ක්‍රමයකින් හෝ පිවිසීම විය හැකිය. පළාත් සභා මන්ත්‍රීවරුන් නැතිව ආණ්ඩුකාරවරු සිටිති. කාර්යාල ද පවතී. මේවා මහජන මුදල් ය. පළාත් සභා, නගර සභා හා වෙනත් ප්‍රාදේශීය සභා සියල්ල විධිමත්ව බලතල සහිතව වැඩක් කළ හැකි ආකාරයකට සකස් කර ගැනීමට බැරි කමක් නැත. මේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ද සමගාමී ලැයිස්තුව බහාතබමින් ය. අලුත් ව්‍යවස්ථාවක් ගැන සිතන ආණ්ඩුව මේවා සඳහා වුවමනා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යායුතු ය. නැත්නම් ආයෙත් පරණ දේශපාලන ආයතන ක්‍රමයම බලාත්මක වනු ඇත. පක්ෂය – අනුගාමිකයා වෙනුවට රටත් ජනතාවත් යන තේමාවට අදාළව කටයුතු කිරීම මේ ආණ්ඩුවට දුන් ජනවරම බලකර සිටියි.

දේශපාලනය දූෂිත හා අමන ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ඒවාට මිල මුදල් ලබාදෙන අයත්, ඒ බලය ලබාගෙන පදවි තනතුරු ලබාගන්නා අනිසි පුද්ගලයනුත් නිසාය. පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂය කරන විවේචන අබියස ආණ්ඩුවට ඇඹරීමට සිදුව ඇත්තේ ද නොමනා පුද්ගල සබඳතාවලින් පක්ෂය කිලිටි වී තිබෙන නිසාය. පසුගිය දිනවල මත්කුඩු ප්‍රවාහනයට අල්ලා ගත් බෝට්ටුවක හිමිකාරයා ගැන ද චෝදනාවක් නැගී තිබේ. ජනාධිපතිවරයකුට සංග්‍රහයක් කළ පමණින්ම එය ජාතික අපරාධයක් වන්නේ නැත. සිංගප්පූරුවේ දූෂණ ඇමතිවරයකුට මරණ දඬුවම ලබා දුන්නේ ඔහුගේ මිත්‍රයකු වූ අගමැතිවරයාය. මහා භාරතයේ අර්ජුනට උපදෙස් දෙන්නේ නෑයන්, මිත්‍රයන්, වර්ග පරපුරේ අය ආදී සියල්ලන්ටම එරෙහිව යුක්තියේ අසිපත ඔසවන ලෙසට ය. රාජා භවතු ධම්මිකො යන්නෙහි දාර්ශනික අරුත වන්නේ ද මේ මගේ නෑයාය මේ මගේ හිතවතාය යනාදී වශයෙන් නොබලා යුක්තිය – සාධාරණය ඉටුකළ යුතු බවය.

මේ රට හොර ගුහාවකියි ලිවීම නොසෑහෙන හැඳින්වීමකි. එහෙත් රටම හොරුන්ට යටවී තිබෙන බව නම් කිව යුතු ය. තැපැල්පතිවරයා තම දෙපාර්තමේන්තුවේ කෝටි ගණන් අතිකාල ගත් හොරුන් ගැන ප්‍රසිද්ධියේ කියයි. සංචාරක දෙපාර්තමේන්තුවේ සංස්කෘතිය ඔළුවෙන් හිටුවීමට දතකන අය සිටිතියි ඒ අයගේ ස්වාමිවරු කියති. පොලිසිය එහි අභිමානය විනාශ කරන ස්වල්ප දෙනෙකුගෙන් කිලිටිවී ඇතැයි පොලිස්පතිවරයා කියයි. වෙනස්වීමට බැරි අය ගෙදර යායුතු යැයි ඇමතිවරු මෙන්ම ජනාධිපතිවරයා ද කියති.

මේ දේශපාලන විවේචනවලට අමතරව ආර්ථික ක්ෂේත්‍රයෙන් ඇසෙන විවේචන ද වේ. දින කීපයකට පෙර මට හමුවූ මගේ පැරණි මිතුරෙක් (ඔහුත් මාත් එකම යුගයක සරසවි සිසුන් වී සිටියෙමු) මගෙන් ඇසුවේ “ඔබ දේශපාලනය ගැනත් උනන්දු වෙනවනෙ. ඔබ හිතනවද දැන් මෙරටේ දේශපාලන නිදහසක් තිබෙනව කියල?”

“ඒ සඳහා අවංකව උත්සාහයක් දරන පිරිසක් සිටිනවා. එහෙත් තවම එය හරියාකාරව පලදරා නෑ” මම කීවෙමි.

ඔහුගේ මුවගට නැඟුණේ සරදම් සහිත සිනාවකි.

ඔබ දන්නවද පහුගිය දවසක ඔබේ ආයතනයේම ඉංග්‍රීසි පුවත්පතකත් තවත් ඉංග්‍රීසි පුවත්පතකත් තිබුණා මෙරටේ ජනාධිපතිවරයටවත් අයිඑම්එෆ් නොවිමසා ආර්ථිකය හා සම්බන්ධ තීරණ ගන්න බෑ කියල. වරාය නගරයේ බදු සහන අයින් කරන්න වුණා. රටක ආර්ථික නිදහස නැත්නම් – දේශපාලන නිදහසත් නෑ. මේ දෙකම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෑ.

ඒ පුවත් දෙකම මට මතකය. ඔහුගේ තර්කය ද පිළිගත හැකිය. එහෙත් ඔහු පැවසූ ආකාරයටම ආණ්ඩුව අද එබඳු ඇමෙරිකානු උගුලක හිරවී සිටින්නේද?

ගාමිණි සුමනසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here