මේස පන්දු ශූරයා ආකේන්: ශූරිය ලෙසන්යා

0
8

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරගාවලිය බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණයේ දී ක්‍රියාත්මක කෙරිණි.

එහි දී කැපී පෙනුණු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉගෙනුම ලබන ආකේන් බෝජිත් වියන්දූව සහ ලෙසන්යා සෙතුම්ලී දක්ෂතම මේස පන්දු ක්‍රීඩකයා සහ දක්ෂතම මේස පන්දු ක්‍රීඩිකාව ලෙස තිළිණ ලබන්නට සමත් වූහ.

මෙවර තරග මාලාවේ අවුරුදු 20 න් පහළ බාලිකා ශූරතාව, අවුරුදු 18 න් පහළ බාලක ශූරතාව, අවුරුදු 16 න් පහළ බාලක අනු ශූරතාව සහ අවුරුදු 16 න් පහළ බාලිකා දෙවන අනු ශූරතාව දිනා ගනිමින් ඉහළම අවධානය තහවුරු කර ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබිණි.

අවුරුදු 16 න් පහළ බාලක ශූරතාව කොළඹ ආනන්ද විදුහල දිනා ගන්නා අතර වාරයේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයට අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව හිමි විය. අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාව මහනුවරට රැගෙන යන්නට හිල්වුඩ් විදුහල සමත් වූ අතර ශ්‍රී දේවානන්ද විදුහල අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව අම්බලන්ගොඩට රැගෙන ගියහ.

අවුරුදු 16 න් පහළ සහ 18 න් පහළ බාලිකා අනු ශූරතා මහනුවර උසස් බාලිකා විදුහල සතු විය. අවුරුදු 20 න් පහළ බාලිකා අනු ශූරතාව කොළඹ විශාඛා විදුහල ට ද දෙවන අනු ශූරතාව මහනුවර මහාමායා බාලිකා විදුහලට ද හිමි වන අතර වාරයේ දී අවුරුදු 18 න් පහළ දෙවන අනු ශූරතාව ගම්පහ සිරි කුරුස විදුහල සතු විය.

අවුරුදු 20 න් පහළ බාලක අනු ශූරතාව සහ 18 න් පහළ දෙවන අනු ශූරතාව කොළඹ රාජකීය විදුහලට ද අවුරුදු 18 න් පහළ අනු ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට ද අවුරුදු 16 න් පහළ දෙවන අනු ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහලට ද හිමි විය. අවුරුදු 20 න් පහළ දෙවැනි අනු ශූරතාව කොළඹ ආනන්ද විදුහල සතු විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරුද්ධ අබේවික්‍රම (ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන දිල්රුක් ජයවර්ධන සහ ප්‍රභාත් ඉන්දික යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක කෙරුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here