2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වන්සේ එම අදහස් පළ කළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත් වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
2023 වසරේ සිට නවතා දමා තිබුණු රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම නැවත ආරම්භ කර මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂා කිරීම රජය සතු වගකීමක් බවද පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් එහිදී කියා සිටියා.
“අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වනවා. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
පොසොන් සතිය ජූනි 07 වනදා සිට ජූනි 13 වනදා දක්වා පැවැත්වෙන අතර එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
Saru FM Media