මෙරට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ , සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම යන රෝග මෙරටින් තුරන්කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත්වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එම තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවති ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, එක්ව සංවිධානය කළ මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සංධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) යන ආයතනවල සහයෝගීතාවයෙන් පවත්වනු ලැබුවා.
මෙම සමුළුව මෙවර පැවැත්වූයේ වසර දහයකට පසුව වීම විශේෂත්වයක්.
බෝවන සහ බෝනොවන රෝග වැළැක්වීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් රජය කටයුතු කරන බව මෙහි දී වැඩිඳුරටත් අවධාරණය කළ අමාත්‍යවරයා මෙරට ජනතාවට විශ්වීය සෞඛ්‍ය සේවාවක් ලබා දීමට වත්මන් රජය දැඩි ලෙස කැපවන බව කියා සිටියා.
මෙරට ආර්ථික අර්බුදය හමුවේ එනත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා GAVI සංධානය ලබා දුන් දායකත්වය මෙහි දී අගය කිරීමට ලක්කළ අමාත්‍යවරයා ඉදිරි වසරවල දී එන්නත් ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සැපයුම් දාම ශක්තිමත් කිරීම සහ මහජන සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා නව එන්නත් හදුන්වාදීම සඳහා GAVI සමඟ අඛණ්ඩ හවුල්කාරීත්වයෙන් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.
Saru FM Media