පුත්තලමේ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බෝතලයක අඩංගු ද්‍රාවණයක් පානය කළ ධීවරයන් දෙදෙනකු මියගිය බව ඊයේ වාර්තා විය. දැනට පෙනෙන පරිදි ධීවරයන් දෙදෙනා මෙම බෝතලය මත්පැන් බෝතලයක් යැයි සිතා ඇත. ඔවුන් සිතන්නට ඇත්තේ නැවකින් වැටුණු මිල අධික ෆොරින් ලිකර් බෝතලයක් තමන්ට කිසියම් අද්භූත බලවේගයක් මගින් තෑගි කර ඇති බවය. සමහරු පෙරේතකමට මත්පැන් බොති. සමහරු මත්පැන් ගන්නට මුදල් නැතිකමින් ලැබෙන ඕනෑම මත්පැනක් පාවිච්චි කරති. පුත්තලමේ ධීවරයන් දෙදෙනා මේ කැටගරි දෙකෙන් කවර එකකට අයත්දැයි අප දන්නේ නැත. අප දන්නා එකම දෙය නම් මරණය යනු නියතයක් බවයි. මේ නියතයට අනුව විෂ ද්‍රාවණයක් පානය කර මියයෑම ඔවුන්ගේ දෛවයෙහි සටහන්ව තිබෙන්නට ඇති. මෙයට පෙර ද නැවකින් වැටුණු විෂ මත්පැන් බූලියක් පානය කළ ධීවරයන් කිහිපදෙනෙක් මියගියහ. මෙවැනි සිද්ධීන් විටින් විට අපට අසන්නට ලැබේ. අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නොදන්නා මඟුල් අතපතගෑමට යෑමෙන් සහ පරිහරණය කිරීමෙන් මිනිසුන්ට මරණය ළඟා වන ආකාරය ගැනය.
නොදන්නා මඟුල් පරිහරණය කිරීම යනුවෙන් අප සඳහන් කරන්නේ කුමක්ද? එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වාර්ගික යුද්ධයෙන් පසු උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් විටින් විට විවිධ බෝම්බ වර්ග හමුවීමට පටන් ගත්තේය. ජොනි බට්ටන් සහ බිම්බෝම්බත්, පැතිබෝම්බත් උතුරු නැඟෙනහිර අදටත් තිබේ. මේවා මතු වූ විට කුඩා දරුවෝ ද වැඩිහිටියෝ ද ඒවා අතපතගාති. සමහර විට කුඩා දරුවෝ ඒවා සමග සෙල්ලම් කරති. එවිට මේ බෝම්බ පුපුරයි. නොදන්නාකමින් නාඳුනන දේවල් අතපතගෑමට යෑමෙන් ද නාඳුනන දේවල් කා බැලීමෙන් හෝ පානය කර බැලීමෙන් ද මනුෂ්‍යයා ප්‍රවේසම් විය යුතුය. මත්පැන් විෂවීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ පිටිසරබද පළාත්වල සිටින ජනයා විවිධාකාරයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට ගොස් විශාල අර්බුදවලට ලක්වෙති. සමහරු මත්පැන් ආසවනය කිරීමේ දී එම බූලිය පුපුරා මියයති. තවත් සමහරු ආසවනය වන මත්පැන්වල මුල් කොටසේ තිබෙන මීතයිල් හෙවත් මෙතිල් ඇල්කොහොල් නමැති විෂ ද්‍රව්‍ය පානය කර සදාකාලික අන්ධභාවයට පත්වෙති. තවත් සමහරු මියයති. මත්පැන් ආසවනය කිරීම ගැන හරියට දන්නා අය ආසවනය කිරීමේ දී මුලින් හටගන්නා මීතයිල් ඉවත් කරති. එහෙත් මේ ගැන හරියාකාරව නොදන්නා අය තමන් මත්පැන් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි අය ලෙස සලකා මුලින්ම ආසවනය වන ටික ඉතා හොඳයි යැයි සිතමින් මීතයිල් ටික පානය කරති. ලංකාවේ කසිප්පු පෙරීමේදී ද මේ ප්‍රශ්නය මතුවෙයි. කසිප්පු විෂවී මියගිය අය ඕනෑ තරම් සිටිති. මත්පැනට පුරුදු වූ අය කසිප්පු බොන්නේ අරක්කු ගැනීමට මුදල් නැති නිසාය. සාමාන්‍යයෙන් මිල අඩුම අරක්කු බෝතලයක් රුපියල් 3000 ක් වත් වේ. කසිප්පු බෝතලයක් රුපියල් 1500 කට පමණ මිලට ගත හැකිය. කසිප්පු පෙරීමේ දී ප්‍රමිතියක් නැත. කසිප්පු ගෝඩා හැළියට කුණු වූ පලතුරු ද පරණ පාන් ද ගැල්වනයිස් ලෝහ කැබලි ද ඊස්ට් ද යූරියා ද මිශ්‍ර කර පැසෙන්නට තබනු ලැබේ. ඒ ගෝඩා මිශ්‍රණය තබන්නේ වනවදුලක ය. ගෝඩා පැහෙන විට ඒ අසලින් යන සර්පයෝ ද මුගටි ද හැළියේ ඇත්තේ කුමක්දැයි බැලීමට ගොස් එයට වැටී මියයති. හරියාකාරව පල් වූ ගෝඩා හැළිය එහෙමම ළිප මත තබා ආසවන කටයුතු ආරම්භ කෙරේ. බූලිය තුළට සර්පයන් සහ වෙනත් සතුන් වැටී ඇති බව කසිප්පු පෙරන්නා දැනගන්නේ සම්පූර්ණයෙන්ම කසිප්පු ආසවනය කර අවසන් වූ පසු බූලියෙහි ඉතිරි වන සත්ත්ව ඇටකටු දැකීමෙනි. එසේ දැක්කා කියා ඔවුන් එම කසිප්පු ඉවත් කරන්නේ නැත. ඒවාට සුදුසු තරම් ජලය මිශ්‍ර කොට පානය සඳහා විකුණනු ලැබේ. මේ කසිප්පු පානය කළ විට බොක්ක කුණුවී අක්මාව වර්චස් වෙයි. එහෙත් මත්පැනට පුරුදු වූ බේබද්දාට වෙන විකල්පයක් නැත.
මීට අවුරුදු සිය ගණනකට පෙර ලංකාවට දෙමළ කම්කරුවන් ඉන්දියාවෙන් ගෙනා කාලයේ දී ඇඟේ පතේ මහන්සිය නිවාගැනීම සඳහා සෑම සවස් කාලයකම ඔවුන්ට මත්පැන් වුවමනා විය. එවිට ඔවුන් කරන්නේ වයින් ස්ප්‍රීතු, ජලය සහ දෙහි යුෂ ඇතුළු තවත් ලාභ අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන මත්පැන් පෙරීම ය. මේ මත්පැන් වර්ගය හඳුන්වන්නේ අලහොදි ලෙස ය. හරි මාත්‍රාවට සකස් නොවුණොත් මේ අලහොදි පානය කර විනාඩි කිහිපයක් තුළ කම්කරුවා අභාවප්‍රාප්ත වේ. මීට අමතරව සීනි සහ තවත් අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන හදන සීනිකරිඤ්ඤං නමැති මත්පැන ද ඔවුහු පානය කළහ. මේ කිසිවක් ප්‍රමිතියට නැත. මේ නිසා ඔවුන් මත්පැන් බොන විට ඔවුන්ගේ ඩි්‍රන්කිං පාට්නර් වන්නේ මාරයා ය. මාරයා මත්පැන් තබා මැහිතෙල් පානය කළත් මිය යන්නේ නැත. එහෙත් වතුකම්කරුවා ප්‍රමිතියට නැති මත්පැන් පානය කර ක්‍ෂණයකින් මියයයි.
මහමුහුදේ පාවී එන කිසිම දෙයක් පරිහරණය කළ යුතු නැත. ඒවා එක්කෝ කල් ඉකුත් වූ භාණ්ඩ වේ. එහෙමත් නැත්නම් අධික විෂ ද්‍රව්‍ය නිසා නැව්වලින් ඉවත් කරන දේවල් වේ. මේවාත් කාත් කවුරුවත් නැතිව අනාථ වී සිටින බිම්බෝම්බත් අතර වෙනසක් නැත. දෙකම ඔබ වෙත ගෙන එන්නේ මරණයයි.
Saru FM Media






