මොනවාද නොදන්නා නිසා අපි බිව්වේ නෑ
නොරොච්චෝලේ ධීවරයන් 2කට
මරු කැඳවූ බෝතලේ ගැන ධීවරයෙක් කියයි
අසාධ්‍ය තත්ත්වයෙන් තව 2 ක් ICU එකේ
“අපි මාළු වේළ වේළා ඉන්නකොට මුහුදේ පාවෙලා ආව බෝතලයක් කුමාර සමිත්ට හම්බවුණා. එයාලා ඒක අරක්කු බෝතලයක් කියලා හිතාගෙන කඩලා බිව්වා. බෝතලේ මොනවද තිබුණේ කියලා දන්නේ නැති නිසා අපි බිව්වේ නැහැ. ඒ බෝතලේ බීපු හතරදෙනාටම අසනීප වුණා” යැයි නොරොච්චෝලේ වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් ධීවරයන් දෙදෙනකු මියයෑම සම්බන්ධයෙන් එහි සිටි තවත් ධීවරයෙක් කියා සිටියේය.
විෂ සහිත ද්‍රව්‍යක් අඩංගු බවට සැකකරන බෝතලය පානය කිරීමෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි තුෂාර සම්පත් සහ මුත්තුසාමි විශ්වා නමැති නොරොච්චෝලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම බෝතලයේ තිබූ ද්‍රව්‍ය පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන නිලන්ත චාමර සහ මාරිමුත්තු ගෝපාල් නමැති දෙදෙනා පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
නොරොච්චෝලේ මුහුදු තීරයේ ධීවර වාඩියක සිටි ධීවරයන් 08 දෙනකු මාළු වේළමින් සිටියදී මුහුදේ පාවී ආ කිසියම් ද්‍රව්‍යක් අඩංගු බෝතලය හමුවී ඇත්තේ පෙරේදා (28දා) දහවල්ය. පසුව එය අහුලා ගත් තරුණයා තවත් තිදෙනකු සමග එක්ව එම බෝතලයේ තිබූ ද්‍රව්‍ය අරක්කු යැයි කියමින් පානය කර තිබේ.
එම ද්‍රව්‍ය පානය කළ එක් තරුණයකු පෙරේදා සවස් කාලයේ දැඩි ලෙස අසනීප වූ අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා රාත්‍රියේ මියගොස් තිබිණි.
ඊයේ උදෑසන මාළු වාඩියේ හිමිකරු එහි පැමිණෙද්දී තවත් ධීවරයකු වාඩිය තුළ මියගොස් සිට ඇත. මේ අතර මෙම ද්‍රව්‍ය පානය කළ අනෙක් දෙදෙනා ද පසුව පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ. එසේ රෝහල්ගත කළ දෙදෙනාගේ තත්ත්වය ද අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
නොරොච්චෝලේ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
මේ ආකාරයටම මීට ටික කලකට පෙර තංගල්ලෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රව්‍යක් අරක්කු යැයි සිතා පානය කිරීමෙන් ධීවරයන් 05 දෙනෙක් ජීවිතයක්කට පත්විය.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන,නලින් හෙන්දුරුගොඩ සහ අමරනන්ද විජේසේකර
Saru FM Media









