මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු

0
2

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය හෙට (25) දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔක්තෝබර් 27 වැනිදා එනම් එළැඹෙන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටය.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ, පවතින වැසි තත්ත්වය ඔක්තෝබර් 28 වැනිදා දක්වා පවතිනු ඇති බවය.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 20,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතියි.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් තවදුරටත් විවෘතව පවතින අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,256 ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරේ.

එමෙන්ම කලාවැවේ වාන් දොරටු දෙක තවමත් අඩිය බැගින් විවෘතකර තැබීමෙන් කලාවැවෙන් කලා ඔයට තත්පරයට ඝණ අඩි 1,241 ජල ධාරිතාවක් මුදාහරින බව වාරි ඉංජිනේරුවන් පවසයි.

ඒ අනුව, කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානයට නුදුරින් දින කිහිපයක් තිස්සේ තවදුරටත් ජලයෙන් යටවී පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් ඒ අවට ජනතාව ගංවතුර පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here