මුහුණ ඩ්‍රයික්ලීන් කිරීම

0
1

සතුට මනින්නේ සමේ පැහැයෙන් ද? යන මාතෘකාව යටතේ ලිපියක් ඊයේ දිවයිනේ පළවී තිබිණ. මෙයින් සාකච්ඡා වන්නේ දැනට මේ රටේ පැතිර තිබෙන Face Cream මගින් සම සුදු කර ගැනීමේ ව්‍යාපෘතිය පිළිබඳව ය. එබැවින් මේ ලිපියේ මාතෘකාව රූපය මනින්නේ සමේ පැහැයෙන් ද යනුවෙන් සංශෝධනය විය යුතු බව අපගේ අදහස වේ. ශ්‍රී ලංකාව යනු ඝර්ම කලාපීය රටකි. ඝර්ම කලාපයේ වෙසෙන ජනයාගේ සම එක්කෝ කළු පාට ය. නැත්නම් දුඹුරු පාට ය. එහෙම නැත්නම් තලඑළලු ය. තලඑළලු යන යෙදුම ගැන කුඩා විග්‍රහයක් තිබේ. මෙයින් අදහස් කරන්නේ වියළීම සඳහා මාගලක අතුරන ලද පොත්ත ඉවත් කළ තලවල ස්වභාවය වේ. ලංකාවේ බහුතර ජනයාගේ ඔරිජිනල් වර්ණය මෙකී මාගලෙහි එළන ලද තලවල පෙනුමට සමාන ය. තලඑළලු වර්ණය හෙවත් තලෙළු යන යෙදුම හැදී ඇත්තේ මේ ආකාරයෙනි. මේ රටේ ජනතාවගෙන් 1% කටවත් සුදු හමක් තිබුණේ නැත. අධික අවු රස්නය, කටුක දේශගුණය සහ අපගේ ඉන්දු ආර්ය සම්භවය එම තත්ත්වයට වගකිව යුතුය. ඒ අනුව 1977 දක්වා මේ රටේ සිටි කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් කළු, දුඹුරු හෝ තලෙළු යන චර්ම වර්ණවලින් සමන්විත වූහ. 1977 න් පසු Face Cream නමැති සංකල්පය වඩාත් පුළුල් වශයෙන් ලංකාවට හඳුන්වාදෙන ලදී. Face Cream වලින් සිදුවන්නේ සමේ තිබෙන තෙතමනය පවත්වාගෙන යෑමය. Face Cream මුහුණෙහි ගෑ විට සම ඉරිතැළීම නවතී. එසේම වාතයේ තිබෙන දූවිලි අංශු සියල්ලම Face Cream හි තැන්පත් වේ. එවිට එම දූවිලි මගින් සමට හානියක් වන්නේ නැත.

ලංකාවේ Face Cream කර්මාන්තය එහි ඉහළම තැනට එන අතර, හිස සෝදන ෂැම්පො වර්ග හඳුන්වාදෙන ලදී. ඊළඟට විවිධාකාර සබන් ද වෙළෙඳපොළට පැමිණෙයි. මෙය අප හඳුන්වනු ලබන්නේ Cosmetic කර්මාන්තය යනුවෙනි. මෙයට අපි සිංහලෙන් කියන්නේ චර්මාලංකරණ නිෂ්පාදන කියාය. එහෙත් මේ කර්මාන්තය තවදුරටත් පුළුල් කළ හැකි බව නිෂ්පාදකයන්ට වැටහිණ. ඒ අනුව Fairness Cream නමැති ක්‍රීම් වර්ගය වෙළෙඳපොළට එයි. මේ ක්‍රීම් වර්ග මාසයක් පමණ මුහුණෙහි ඇතිල්ලූ විට ඇත්තටම මුහුණ සුදුවෙයි. 1977 න් පසු ශ්‍රී ලංකාවේ හින්දි චිත්‍රපට කර්මාන්තය ඉතා දියුණු විය. රූපවාහිනි චැනලවලින් නිතර නිතර හින්දි චිත්‍රපට පෙන්වන ලදී. මේ චිත්‍රපටවල සිටි සියලුම හින්දි නිළියෝ සුදුම සුදු පාටය. මේ මගින් මේ රටේ තරුණියන්ට විශාල ආතල් එකක් ලැබිණ. පහළ මධ්‍යම පාන්තික සහ මධ්‍යම පාන්තික තරුණියන් පමණක් නොව ඉහළ මධ්‍යම පන්තියේ තරුණියෝ පවා මේ තත්ත්වයට ආසක්ත වූහ. ඒ නිසා Fairness Cream ඉතා වේගයෙන් විකිණෙන්නට පටන් ගත්තේ ය. ඒ දක්වා ලංකාවට Fairness Cream වැඩියෙන්ම ගෙන්වන ලද්දේ ඉන්දියාවෙනි. මේ වර්ගයේ ඇතැම් ක්‍රීම් මගින් දවස් දාහතරක් ඇතුළත තරුණියන්ට ප්‍රතිඵල ලැබිණ. ඒ සමගම ඇඟ කළුපාට, මුහුණ සුදුපාට කණ්ඩායමක් අපේ රටේ පහළ වූහ. මේ Fairness Cream වල වැඩිපුරම තිබුණේ බ්ලීචිං පවුඩර් හෙවත් විරංජන කුඩු ය. සාමාන්‍යයෙන් තදබල කහට තිබෙන රෙද්දකට විරංජන කුඩු දමා සේදූ විට එම කහට පැල්ලම වියැකී යයි. ලොන්ඩරිවල ඩ්‍රයික්ලීන් එකේ දී සිදු කරන්නේ මෙයයි. සම සුදු කිරීමේ ක්‍රීම්වලට විරංජන කුඩු දැමීමෙන් සිදු වූයේ ද මෙයමය. ක්‍රීම්වල ඇති විරංජන කුඩු මුහුණෙහි තැවරුණු විට සමෙහි තිබෙන ස්වාභාවික වර්ණය ගැලවී ගොස් සුද මතු විය. මෙහි භයානකම පැත්ත වූයේ ඇතැම් බ්ලීචිං ක්‍රීම් වර්ග දීර්ඝකාලීනව පාවිච්චි කිරීමෙන් කාන්තාවන්ගේ මුහුණු ලපකැළැල් සහ තුවාලවලින් ගහන වීමයි. ඉන්පසු ඒවා සනීප කිරීමට තවත් විශාල වියදමක් දැරීමට සිදුවෙයි.

සම සුදු කරන ක්‍රීම් නිසා මුහුණ විරූපී කරගත් අය ඉන්දියාවේ තමිල්නාඩුවේ විශාල වශයෙන් සිටින අතර ඔවුන් උසාවියට ගොස් ක්‍රීම් නිෂ්පාදකයන්ට විරුද්ධව තීන්දු ද ලබාගෙන ඇත. සුදුවීමට සෑම කෙනකුටම අයිතියක් තිබේ. එය අපි නිතරම පිළිගන්නෙමු. එහෙත් සුදුවීමට යකෙකු වීමේ ඉරණමට කිසිවකු පත්වන්නේ නම් එය ඉතාම නරක අන්තයකි. ලංකාවේ ද සම සුදු කරන ක්‍රීම් නිෂ්පාදකයෝ ඕනෑතරම් සිටිති. ඔවුන්ගෙන් වැඩිදෙනා රජයේ ලියාපදිංචිය ලබාගෙන ප්‍රමිතියට අනුව කටයුතු කරති. එහෙත් සම සුදු කිරීමේ සමහර ක්‍රීම් ලංකාවට එන්නේ තායිලන්තය, චීනය වැනි රටවලිනි. මේවා කිලෝ දහයේ හෝ කිලෝ විස්සේ බකට් වශයෙන් ලංකාවට ගෙන එන අතර මෙහිදී ටියුබ්වලට පුරවනු ලැබේ. මේ ක්‍රීම්වල කුමක් තිබේදැයි කවුරුත් දන්නේ නැත. එහෙත් අයිෂ්වර්යා රායි වීමට හෝ පියුමි හංසමාලි වීමට ප්‍රාර්ථනා කරන සියලුදෙනා කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව මේ බඩු මිලට ගෙන වැඩ අලකර ගනිති. අපේ මේ කතුවැකිය සම සුදු කිරීමට එරෙහි කතුවැකියක් නොවන බව මතක තබාගත යුතුය. මෙය නිත්‍ය වශයෙන්ම ඉලක්ක කරගන්නේ සම සුදු කිරීමට ගොස් ප්‍රමිතියකින් තොර ක්‍රීම් පාවිච්චි කර වැඩ අනාගන්නා මේ රටේ තරුණ පරම්පරාව ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here