මුදල් ඔට්ටුවට ජාඇල පාරේ රේස් පැද්ද 11ක් ත්‍රිරෝද රථ සමග අත්අඩංගුවට

0
1

කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇලදී මහ රෑ මුදල් ඔට්ටුවලට නීති විරෝධී ලෙස මුල් ආකෘති වෙනස් කළ ත්‍රීරෝද රථවලින් රේස් පැද්ද තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

සැකකරුවන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ දඬුගම සහ තුඩැල්ල කොට්ඨාස අතරතුරදී ඉකුත් සති අග රාත්‍රි 1.30 පමණ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් අතරින් තිදෙනෙකු මුල් ආකෘතිය වෙනස් කර තිබූ ත්‍රීරෝද රථ තුනක නැගී රේස් ධාවනයේ යෙදී සිටි බවත් අනෙක් ත්‍රීරෝද රථ අටක් ඔවුන්ට ආරක්ෂාව ලබාදෙමින් පසුපසින් ධාවනය කරමින් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි. අත්ඩංගුවටගත් සැකකරුවන් අතරින් අවුරුදු 15, 16 වියේ පසුවූ බාල වයස්කරුවන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 20-26 අතර වූ තරුණයන් 9ක් වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථවල මුල් ආකෘතිය වෙනස් කොට නීති විරෝධි ලෙස ඒවාට අලු‍තින් උපාංග සවි කොට තිබූ බවද පොලිසිය සඳහන් කරයි. ධාවනයේදී රථ රේස් කරන ශබ්දය තදින් හඬවන අන්දමට සයිලන්සර් සකස් කොට අධික වර්ණවත් ආලෝක ධාරා විහිදුවන අයුරින් එම රථවල විදුලි පහන් සවිකොට තිබුණ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අතරම එම රථවල එන්ජින්වල දාරිතාවයද නීති විරෝධී ලෙස වැඩි කොට ඇති බවට සැක කරන බවද පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් ජාඇල, වත්තල, කඳාන, කඩවත, ගනේමුල්ල සහ සීදුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත.

ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. අරුලානන්දම් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්සැරයන්වරුන් වන 34034විජේසිංහ, 74842කරුණානායක, 20710 රණසිංහ, කොස්තාපල් වරුන් වන 94491වීරසිංහ, 94498ඩිනක්ශන, 101947 මධුසංක, 101948 ප්‍රසාද් යන නිලධාරීන් විසින් වැටලීම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති ත්‍රිරෝ රථ 11 මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂණය සඳහා ජාඇල පොලිසියේ තබා ඇත. සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බී.ටී. කොටින්කඩුව-ජාඇල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here