මැතිවරණ උණුසුම මැද කොලොම්බියානු ජනාධිපති ඝාතන උත්සාහයක්! – Saru News | සිංහල

0
2

තවත් මාස තුනකින් පැවත්වීමට නියමිත එනම් 2026 මැයි 31 වනදා ජනාධිපතිවරණයට පෙර කොලොම්බියාව තුල ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක් දක්නට ලැබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. පෙබරවාරි 11 වනදා ආදිවාසී ජනතාවට අයත් එරට සෙනට් සභා වාමාංශික පක්ෂ මන්ත්‍රීවරියකු වන aida quilcue මත්ද්‍රව්‍ය කර්ටෙල් සංවිධානයක් විසින් පැහැර ගෙන ගොස් පසුව නිදහස් කර තිබිණි. මේ අතර කොලොම්බියානු වාමාංශික ජනාධිපති Gustavo Petro ඊයේ පෙබරවාරි 10 වන අඟහරුවාදා තහවුරු කළේ පෙබරවාරි 09 වන සඳුදා හෙලිකොප්ටර් ගමනකදී එරට පාතාල කණ්ඩායම් විසින් තමන් ඝාතන උත්සාහයකින් අනු නමයෙන් බේරුණු බවයි.

ඔහු මාධ්‍ය වෙත පැහැදිලි කළේ තමා ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත් අයෙකු ලෙස සැලකිය යුතු බවයි. ඔහු රැගෙන ගිය හෙලිකොප්ටරය කොලොම්බියානු කැරිබියානු වෙරළ තීරයට සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූයේ ඔහුගේ ආරක්ෂක කණ්ඩායම ගුවන් යානයට “වෙඩි තබනු ඇතැයි” “බිය වූ” නිසා බව ඔහු පවසා සිටියේය.

“අපි පැය හතරක් පුරා මුහුදේ සිටියෙමු, මම අනපේක්ෂිත තැනකට ගියෙමි, මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා පලා ගියෙමි,” යයි බටහිර කොලොම්බියාවේ කොර්ඩෝබා දෙපාර්තමේන්තුවට යාමට නියමිතව සිටි කොලොම්බියානු ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

2022 සිට බලයේ සිටින ජනාධිපතිවරයා මාස ගණනාවක් තිස්සේ කියා සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පාතාල කණ්ඩායමක් තමන් මරා දැමීමට උත්සහ දරමින් සිටින බවයි. පසුගිය දා ට්‍රම්ප් ඇමරිකාවේදී හමු වූ අවස්ථාවේ දී ද Gustavo Petro පේනවා දුන්නේ කොලොම්බියානු පාතාල නායකයින් ඩුබායි, මියාමි හි රැකවරණ ලබන බවයි. තමා ඝාතනය කිරීමට මොවුන් කුමන්ත්‍රණය කරන බවත්, මෙම කුමන්ත්‍රණයට රටින් පිටත ජීවත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඍජුවම සම්බන්ධ බවත් ඔහු ඇමරිකාවේ ධවල මන්දිරයේදී පවසා සිටියේය.

කොලොම්බියාවේ කොර්ඩෝබා දිස්ත්‍රික්කය යනු රටේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන Clan del Golfo, මාෆියා කල්ලිය ක්‍රියාත්මක වන ප්‍රදේශයයි. පසුගිය සතියේ, රජය සමඟ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ කටාර්හි සිදුවෙමින් පැවති සාම සාකච්ඡා අත්හිටුවීමට මෙම අතිශයින් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කාටෙල් කණ්ඩායම හදිසියේ තීරණය කළ බව නිවේදනය කළේය. වොෂින්ටනයේ පැවති ඔවුන්ගේ පළමු රැස්වීමේදී කොලොම්බියානු ජනාධිපති Gustav petro සහ ඩොනල්ඩ් ට්‍රම්ප්, විසින් මෙම “Clan del Golfo” හි ප්‍රධානී චිකිටෝ මාලෝ ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ සංවිධානවල නායකයින් තිදෙනෙකුට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ග ප්‍රමුඛත්වය දීමට ගත් ඒකාබද්ධ තීරණයට තම විරුද්ධත්වය පල කරමින් ඔවුන් එසේ ප්‍රතිචාර දැක්වීය.

කොලොම්බියාව යනු ලෝකයේ පළමු කොකේන් නිෂ්පාදනය කරන රට ලෙස සැලකේ.

2022 සිට බලයේ සිටින රටේ පළමු වාමාංශික ජනාධිපති Gustavo Petro තවත් මාස තුනකින් පැවැත්වෙන කොලොම්බියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ. එරට ව්‍යවස්ථාවෙන් දෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැක; එහෙත් දැන්ම සිටම දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉතා වේගෙයෙන් ඉහළ යාමක් දැක්වෙන බවට විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මාර්තු 8 සහ මැයි 31 යන දිනවල පැවැත්වීමට නියමිත මෙම මැතිවරණ ළං වනවිට, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ජීවත් වන විවිධ සන්නද්ධ කණ්ඩායම් විශාල භූමි ප්‍රදේශ පාලනය කරමින්, භීෂණය පතුරමින් රටේ දේශපාලන චරිත, මැතිවරණ අපේක්ෂකයින් සහ සමාජ ක්‍රියාකාරී නායකයින්ට එරෙහි තර්ජන එල්ල කරමින් සිටි.

ඒ අනුව 53 හැවිරිදි සෙනෙට් සභික Aida Quilcué පෙබරවාරි 10 වැනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ කෙටි වේලාවකට පැහැර ගනු ලැබීය. එය සිදු කරනු ලැබුවේ 2016 දී රාජ්‍ය සමඟ සාම ගිවිසුමක් අත්සන් කළ කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදාව ලෙස සැලකෙන FARC සංවිධානයට එරෙහිව ඔවුන්ගෙන් බිඳී ගිය විරුද්ධවාදීන් විසින් පාලනය කරනු ලබන කොකා වගා කරන කලාපය තුළය. ඇය තම ආරක්ෂකයින් සමඟ ගමන් කළ වාහනය මාර්ගයක අතහැර දමා ගොස් තිබී පසුව සොයා ගත් අතර ආදිවාසී ජනතා පිරිසක් ඇයව බේරා ගත් බව ඇගේ කණ්ඩායම පවසා සිටියහ. නාසා ආදිවාසී ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සෙනෙට් සභිකවරියක් වන Aida Quilcué එරට ඉතා ප්‍රකට මන්ත්‍රී වරියෙකි. කොලොම්බියාවේ තවමත් විසඳි නැති ඉඩම් ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඉදිරියෙන් ගොවි හා ආදිවාසී ජනතාව වෙනුවෙන් පෙනී සිටින කාන්තාවකි. එරට ඉඩම් ප්‍රශ්න විසඳි නොමැති තත්වයක් තුළ ප්‍රධාන ගරිල්ලා සංවිධානය වන ELN සංවිධානය ද ආයුධ බිම දැමීම ප්‍රතික්‍ෂේප කර සිටි.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ Gustavo Petroගේ වාමාංශික අපේක්ෂක Ivan Cepeda ජයග්‍රහණය කිරීමේ විශාල ඉඩක් පවතින බවයි. විශේෂයෙන් රටේ දක්ෂිණාංශික පක්ෂ අවුල් සහගත පවතින තත්වයක් තුළ 2026 මැයි 31 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ පළමු වටය වාමාංශික අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. මානව හිමිකම්වල ශූරයෙකු වන Ivan Cepeda දක්ෂිණාංශය තුළ ඇති බෙදීම් සහ බොගෝටා සහ වොෂින්ටනය අතර මෑතකදී ඇති වූ සබඳතා ලිහිල් වීමෙන් එහි ප්‍රතිලාභ ලැබීමට නියමිත බව ඔවුන් තව දුරටත් පෙන්වා දේ.

මාස හයකට පෙර නැවත බලයට පත්වන බව නිසැක බවක් පෙන්නුම් කල ට්‍රම්ප් ගේ සහය ලබන කොලොම්බියානු දක්ෂිණාංශික පක්ෂ අර්බුධයට පත් වනුයේ ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ජනාධිපති Gustavo Petro පෙන්වූ විරෝධය හමුවේ කොලොම්බියානු ජනතාව ඉතා විශාල වශයෙන් ඔහු හා ඔහුගේ පක්ෂය වටා පෙළ ගැසීම නිසාවෙනි. ඉන් පසුව ට්‍රම්ප් විසින් Gustavo Petro වොෂින්ටනයට කැඳවීමත් සමග ඔහුගේ ජනප්‍රියතාවය තවත් ඉහළ ගියේය.

රටේ සියලුම මත විමසුම්වලින් පෙනී යන්නේ මැයි 31 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පළමු වටයේදී ඡන්දවලින් තුනෙන් එකක් පමණ ලබා ගනිමින් වාමාංශික අපේක්ෂක Ivan Cepeda  ඉදිරියෙන් සිටින බවයි. දෙවන වටයක් අවශ්‍ය වුවහොත් එය 2026 ජුනි 21 වන දින පැවැත්විය යුතු ඇති අතර ඔහුගේ ජයග්‍රහණය ස්ථිර වීම ඉදිරි මාස තුන තුළදී තීරණය වනු ඇත. එහෙත් පසුව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ පූර්ව නිශ්චිත සන්ධානයකට බහුතරයක් ලබා ගැනීමට හැකියාව අවම බවටද ඇතැම් පරස්පර විරෝධී මත විමසුම් මේ අතර පෙන්වා දේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here