මැණිකෙලාට යළි තැනෙන උඩරට රේල්ලුව

0
2

කොළඹ සිට බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට රඹුක්කන දක්වා සීමාවී තිබේ.

ඒ, දිට්වා සුළිකුණාටුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ හානි සිදුවූ ස්ථාන 223න් ඇතැම් ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පැවතීම හේතුවෙනි.

මෑත ඉතිහාසයේ මෙරටට වැඩිම භෞතික හානියක් සිදු කළ ස්වාභාවික ව්‍යසනය ලෙස ඉකුත් වසරේ අවසානයේ දිට්වා සුළිකුණාටුව ලක් දෙරණ හරහා හඹා ගියේ මෙරට පොදු ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රවාහන ක්‍රමවේදයක් වූ දුම්රිය මාර්ග පද්ධතියට රුපියල් බිලියන 69කට ආසන්න හානියක් සිදුකරමිනි.

එහිදී සියවසකටත් වඩා ඉපැරණි බ්‍රිතාන්‍ය යුගයේ ඉදිවූ කිලෝමීටර් 292ක දුරින් යුත් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ පමණක් පස්කඳු නායයාම් සහ ගිලා බැසීම් හේතුවෙන් හානිකර සිද්ධින් 223ක් වාර්තා විය.

ඒ හේතුවෙන් කොළඹ සහ කන්ද උඩරට අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවී තිබේ. 

එතැන් පටන් ගෙවීගිය සිව්මසක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය මධ්‍යයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක් අතර දුම්රිය ධාවනය යථාතත්වයට ගෙනඒමට හැකි විය.

කෙසේවෙතත් තවමත් කොළඹ සිට අඛණ්ඩව දුම්රියේ ගමන් කළ හැක්කේ රඹුක්කන දක්වා පමණය.

දැනට පිළිසකර කරමින් පවතින ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ පමණක් ස්ථාන 22කට දිට්වා සුළිකුණාටුව අවස්ථාවේ පස්කඳු නායයාම් සහ ගිලාබැසීම් හේතුවෙන් හානි සිදුව තිබේ.

විශාල පස්කඳු නායයාමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිරවී තිබූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කංසලගමුව ප්‍රදේශයේ පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

එසේම පස්කඳු නායයාම් හේතුවෙන් දැඩි ලෙස හානි සිදුවී තිබූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් කර ඇත.

කෙසේ වෙතත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළ කෝට්ටේ දක්වා වූ කොටසේ වැඩිම හානියක් සිදුව තිබූ කඩිගමුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදු කරමින් පවතී. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here