මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු COPF අවධානය

0
10

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළව පවතින ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව පසුගිය 27 වනදා පාර්ලිමේන්තුවේදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මියන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන සහ විජේසිරි බස්නායක යන මහත්වරුන්ද මේ සඳහා සහභාගී වූහ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් කාරක සභාව හමුවේ තම ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාල පවසයි.

කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තමන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අවධාරණය කළ ඔවුහු, ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ.

එමෙන්ම අපනයන දිරිගැන්වීම සඳහා නියාමන ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් විදේශීය ආයතන නියාමනය කිරීම සහ විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම යන කරුණු පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

තවද මැණික් පතල් කැණීම් සම්බන්ධයෙන් ස්කෑන් යන්ත්‍ර භාවිතයට ඉඩ නොදීම සහ පතල් ඉඩම් අඩුවීම වැනි ගැටලු පිළිබඳවද කර්මාන්තකරුවන් කාරක සභාව දැනුවත් කළහ.

අවසන් අදහස් දක්වමින් සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, බදු හා භෞතික ලිහිල්කරණය, පරිපාලන ගැටලු සහ පතල් කැණීම් ප්‍රතිපත්ති යන ප්‍රධාන ක්ෂේත්‍ර තුළ කර්මාන්තය මුහුණ දෙන ගැටලු හඳුනාගත හැකි වූ බවය.

ඒ අනුව, එම සියලු කරුණු ඒකාබද්ධ කර සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here