
කොටහේනේ පාසල් සිසුවියකගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද උණුසුම් මාතෘකාවක් සැපයූ අතර මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙකු සම්බන්ධ බවට ප්‍රකාශිත චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ප්‍රකාශ කර ඇත.
අද පැවති සංවාදයක් අතරතුර මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා පැවසුවේ:
“පාසල් සිසුවියක් සියදිවි නසාගත් සිද්ධිය ගැන මෙම සභාවේ අපි කථා කළා. 2024 ඔක්තෝබර් මාසයේ සිද්ධිය සිදුවී තිබෙන්නේ. දෙසැම්බර් මාසයේදීම බම්බලපිටිය පොලිස් ස්ථානයට දෙමාපියන් කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබුණා. අදාළ ගුරුවරයා 2025 ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ළමා අපයෝජන චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔහු දින දෙකකින් ඇප මත නිදහස් කරනු ලැබුවා.
ළමා අපයෝජනයකට ඔහු සම්බන්ධ වී සිටියේ නම් ඔහු සේවයෙන් පහ කර තිබිය යුතුයි. නමුත් මේ මාසයේ 8 වැනි දා තමයි ඔහුට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ. උද්ඝෝෂණ කිරීමට සැලසුම් කිරීමෙන් පසුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ පියවර ගෙන ඇත්තේ. මේ මාස 5ක කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය කළේ කුමක්ද, අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වී මාස 6ක් ගතවී ඇතත් ඇයි මේ සම්බන්ධයෙන් පියවර නොගත්තේ? යුක්තිය ඉටු නොවීම නිසා තමයි ජනතාව මහමගට බැස ඇත්තේ.
ඔබේ පක්ෂයේ සංවිධායකවරයෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව මාධ්‍ය වල පළවී ඇති බව සඳහන් කළා. ඒ චෝදනාව නිකමට කියන්නේ නැහැ. සිසුවියගේ දෙමාපියන් ඒ ගැන කියනවා. එම පුද්ගලයාම පන්ති කාමරයේ ඒ සිසුවිය හිටවලා, පාසලේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් අනෙක් සිසුන් ඉදිරිපිට සිසුවිය අපහාසයට ලක් කර තිබෙනවා. ඔහු ඔබේ පක්ෂයේ සංවිධායකවරයෙක් බව අපි උදේ කිව්වේ නැහැ. ඔබම තමයි මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා කිව්වේ.
එම ගුරුවරයා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රමවේදය කෙසේ පැවති ද යන්න බලන්න. ඒ ක්‍රියාපටිපාටිය වේගවත් වී තිබුණා නම් ඒ සිසුවියගේ ජීවිතය බේරා ගන්න තිබුණා.”
අදාළ සංවිධායකවරයාගේ නිවස ඉදිරිපිට පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. චෝදනා ලබන අයෙකුට මෙවැනි ආරක්ෂාවක් ලබා දෙන්නද? දැරියගේ මරණයට කෙලින්ම හෝ වක්‍රව වගකිව යුතු අයෙකුගේ නිවසට ආරක්ෂාව සැපයිය යුතුද? ඔහු වෙනත් පක්ෂයකට අයත් අයෙකු වී නම් අද සිරගත වී සිටීවි.”
ඔහු වක්‍රව හෝ සෘජුවම මෙම සිසුවිය අපහාසයට ලක් කර ඇති බව දෙමාපියන් විසින් චෝදනා කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ තමයි ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ. ඔහු සංවිධායකවරයා පමණක් නොව පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අයෙක්. ඔහු ඡන්ද 35,000ක් ලබා ගෙන ඇති අයෙක්. ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණවලින් තීරණය වනු ඇති.”
ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රතිචාර දක්වමින් මෙසේ කීය.
“මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සමහර කරුණු සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් මතු කරනවා.
මේ කාරණය ගැන තමන් දේශපාලනය කරන්නේ නැහැයි කියමින්ම අපේ සංවිධායකවරයෙකු මේකට සම්බන්ධ කරනවා. අපේ සංවිධායකවරයෙකු මේකට සම්බන්ධ නැහැ. ඔහු අදාළ අධ්‍යාපන ආයතනයේ හිමිකරු පමණයි, ඔහු ගුරුවරයෙකු ද නොවේ. සම්පූර්ණයෙන්ම විකෘති කිරීමක් කරන්නේ. විකෘති කරමින්ම මාධ්‍යවලට කියන්නේ.
ඒ දරුවා පිළිබඳ සැලකිල්ල අප තුළ තිබෙනවා. අගමැතිවරයාද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වැරදි සහ ප්‍රමාදයන් තිබේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගනු ඇති”
ඔහු පැවසීය.
Saru FM Media