මාලදිවයිනේදී කොටුවුණු අවිශ්ක පුතා ළඟ අයිස් – හෙරොයින් කිලෝ 355ක්

0
7

මාලදිවයින් නීතිපති උපදෙස් මත බෝට්ටුව ධීවරයින් 5 දෙනා සමග කුඩු තොගය ලංකාවට ගේනවා – පොලිසිය

මාලදිවයින් මුහුදු සීමාවේදී ලාංකිකයින් 5 දෙනකු සමග අත්අඩංගුවට ගත් ‘අවිශ්ක පුතා’ නමැති ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් සොයාගත් බව මාලදිවයින් පොලිසිය පවසයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 297.3ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 58.6ක් ඒ අතර වේ.

නොවැම්බර් 07 වැනිදා නීති විරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුල් වූ ‘අවිශ්ක පුතා’ නමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබිණි.

එම යාත්‍රාව නොවැම්බර් 09 වැනිදා මාලදිවයින් පොලිසියට භාරදී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මාලදිවයින් පොලිසිය හෙළි කරගෙන තිබිණි. ඒ අනුව පොලිසිය එරට අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව එම ධීවර යාත්‍රාව 10 වැනිදා විශේෂ සෝදියකට ලක්කර තිබේ.

‘අවිශ්ක පුතා’ ධීවර යාත්‍රාවේ මලු 24ක මෙම අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් තොගය සඟවා තිබියදී සොයාගැනීමට හැකි වූ බව මාලදිවයින් පොලිසිය පවසයි.

මාලදිවයින් ජාතික ආරක්ෂක බළකාය හා එරට පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

යාත්‍රාවේ සිටි ලාංකිකයින් පස්දෙනා අවුරුදු 28, 34, 39, 42, 63 යන වයස්වල පසුවන්නෝ වෙති.

එරට නීතිපති උපදෙස් මත ලාංකිකයින් පිරිසකට මත්ද්‍රව්‍ය තොගය ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලාංකික පොලිසිය පවසයි.

මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. මෙය මාලදිවයින් මුහුදු සීමාව තුළ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව එරට පොලිසිය පවසයි.

මෙම වැටලීම ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්දීය සාගර කලාපයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන සහ ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here