රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :
කේ. ඩබ්ලිව්. කන්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස පත් කරන ලෙස අභියාචනාදීකරණය විසින් ඉකුත්දා දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජූනි මස 02 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළ බව සඳහන් වේ.
එම ආයතනයේ සේවය කළ සිවිල් ඉංජිනේරුවකු වන කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පත් කරන ලෙස ඉකුත් 08 වනදා අභියාචනාදියකරණය විසින් නියෝගයක් නිකුත් කළ බව සඳහන් කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා , විෂය භාර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු චෝදනා කළ බව පැවසේ.
මේ තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇති අතර, ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ බව වාර්තා වේ.
Saru FM Media