මානුෂීය මෙහෙයුම සමයේ හමුදා භාරයට ගැණුනු රන් භාණ්ඩ දස දහසක තෙරතුරු අධිකරණය හමුවේ දිග හැරේ

0
2


උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරු, ඔවුන්ගේ නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා  ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ භාරගෙන, ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර  පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ බැංකු, කඳවුරු සහ ගොඩනැගිලි ආදියෙන් සොයාගත් රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන බවත් ඒවා භාරගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නියෝග කීපයක් ලබා ගැනීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මේ ආකාරයෙන් සොයාගත් රන් භාණ්ඩ යැයි සැලකෙන ආයිත්තම් දස දහසක් පමණ තිබෙන බවත් ඒවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඇය සඳහන් කළා. 

ඒ අනුව එක් දිනකට පරික්ෂා කළ හැක්කේ භාණ්ඩ තුන්සියයක් පමණක් බවත් ඒ අනුව කොටස් වශයෙන් පරීක්ෂාව සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත එම රන් භාණ්ඩ යොමු කිරීමට තීරණය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය විසින් අයැද සිටි නියෝග කිහිපයක්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළා. 

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේප්පුවල පවතින රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍යවල රන් බර, සංයුතිය පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික ස්වර්ණාභරණ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන්නා.

එමෙන්ම අදාළ රන් භාණ්ඩ කිරුම් මිනුම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් එම කටයුතු සඳහා  සහාය වන ලෙස ලංකා බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය මීට අදාළ නියෝගය ලංකා බැංකුව වෙත නිකුත් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ තවත් ඉල්ලීමකට ඉඩදුන් මහේස්ත්‍රාත්වරිය මෙම කටයුතු ඉටු කිරීම සඳහා ලංකා බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු නම් කරන ලෙසත් නියෝග කළා. 

තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අදාල රන් භාණ්ඩ යැයි සැලකෙන ද්‍රව්‍ය මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ පර්යේෂණ හා ලේඛනාගාරයේ රඳවා තිබෙන අතර එම ස්ථාන ඡායාරූප ගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එම ඉල්ලීමට ඉඩදුන් මහේස්ත්‍රාත්වරිය අදාල ස්ථානය ඡායාරූපගත කිරීමට සහ වීඩියෝ ගත කිරීමට පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරීන්ට අවසර දෙන ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේඛන හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට තවත් නියෝගයක් නිකුත් කළා.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාර ගන්නා භාණ්ඩ  ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවා තැබීමට අවශ්‍ය නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළා. 

එලෙස භාරගන්නා භාණ්ඩ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් නියෝගයක් ද නිකුත් කෙරුණා.

එමෙන්ම අදාළ රන් භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ නිලධාරියකු පත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළා. 

ඊට අමතරව මෙම කටයුතුවලට සහාය වීමට අවශ්‍යය නියෝග කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව,  ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය ඇතුළු ආයතනවලට එහිදී නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here