මානව හිමිකම් සමුළුවට ඇමැති විජිත ජිනීවා යයි

0
8

ශ්‍රී ලංකා රජයෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසියට සහභාගිවීම සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (07දා) පෙරවරුවේ ජිනීවා බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (08දා) ආරම්භ වන අතර එහිදී විජිත හේරත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය.

මෙම සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනකු සමග ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා විජිත හේරත් ඇමැතිවරයා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වෙනු ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතිකන ජන බලවේගය රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර මානව හිමිකම් සැසියට විජිත හේරත් ඇමැතිවරයාට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇත.
 ඒ අනුව රජයේ නිල පිළිතුර තුළ මෙසේ ද දැක්වේ,
 බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතුවන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමග ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.
 ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.
 එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවිතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.


චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here