මාධ්‍යවේදියාට වන්දි ගෙවීමට පොලිසියේ 3 කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

0
1

අනීතිකව අත්අඩංගුවට ගෙන මහපාරේදී පහර දී වධහිංසා කරලා

වහාම නීති පියවර ගන්නැයි නීතිපතිටත් නියෝග කරයි

සිය නිවසේ සිට කොළඹ බලා යතුරුපැදියෙන් රාජකාරියට පැමිණෙමින් සිටි නෙත් එෆ්. එම්. ගුවන්විදුලියේ විධායක නිෂ්පාදකවරයකු වන තිළිණ රාජපක්‍ෂ මහතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මහාමාර්ගයේදී මහජනතාව ඉදිරියේදීම අමානුෂික ලෙස පහරදී කෲර වධහිංසා කළ අලව්ව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට එරෙහිව කෲර වධහිංසා වැළැක්වීමේ පනත යටතේ වහාම නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (22දා) නීතිපතිවරයාට නියෝග කළේය.

අලව්ව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් රවීන්ද්‍ර කුමාර (34971), පොලිස් කොස්තාපල් විජේබණ්ඩාර (30472) හා පොලිස් කොස්තාපල් ජයසුන්දර (87445) යන තිදෙනා පෙත්සම්කාර මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ද නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය පෞද්ගලික මුදලින් පෙත්සම්කරුට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවන ලෙසට ද ඔවුන්ට නියෝග කළේය.

පෙත්සම්කාර මාධ්‍යවේදියා පොල්ගහවෙල ප්‍රදේශයේ සිට 2021.03.01 වැනිදා දහවල් සිය යතුරුපැදියෙන් කොටුව බලා ගමන් කරමින් සිටියදී අලව්ව වලකුඹුර ප්‍රදේශයේදී පළමු හා දෙවන වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරුපැදිය නවත්වා ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක් මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉස්සර කළ බවට චෝදනා කර තිබිණි. තමා කිසිදු මාර්ග නීතියක් උල්ලංඝනය නොකළ බව පවසා සිය රියැදුරු බලපත්‍රය ඔවුන් වෙත ලබාදුන් පෙත්සම්කරු ඔවුන් හා තමා අතර ඇතිවූ සංවාදයට සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබිණි. එලෙස තමන්ව වීඩියෝ කරන්නේ ඇයි දැයි පරුෂ වචනයෙන් බැණ වැදුණු එම නිලධාරීන් ඔහුගේ ජංගමදුරකථනය බලහත්කාරයෙන් උදුරාගෙන ඇති අතර සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වා මාධ්‍යවේදියකු වන තමාට සිදුවන අසාධාරණය වීඩියෝ කිරීමේ අයිතිය ඇති බව පෙත්සම්කරු පවසා තිබිණි.

මාර්ගයේ ගමන් කළ පදිකයන් ඇතුළු විශාල පිරිසක් ද යතුරුපැදිකරු වෙනුවෙන් පෙනීසිටීම නිසා ඉහළ නිලධාරීන්ට දන්වා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ගෙන්වා ගත් සැකකාර නිලධාරීන් එම නිලධාරීන් හා එක්ව පෙත්මස්කාර මාධ්‍යවේදියාට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකොට පොලිසියට රැගෙන ගොස් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, මෝටර් රථවාහන පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම ඇතුළු අභූත චෝදනා නඟා නඩු පැවැරීමට පියවර ගෙන තිබිණි.

අනීතික ලෙස කටයුතු කරන්නේ නම් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන බවට පෙත්සම්කරු පැවැසීම නිසා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ පිළිබඳව සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට හෝ ඔහුට අවස්ථාවක් ලබානොදුන් බවත් පෙත්සමින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු කෙසේ නමුත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මැදිහත්වීම මත ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් කියා සිටී.

රෝහල්ගතව සිටියදී රෝහලට පැමිණි මහෙස්ත්‍රාත්වරයකු පෙත්සම්කාර මාධ්‍යවේදියා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර දින ගණනාවකට පසුව ඇප මත මුදාහැර තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ වෛi වාර්තා ඇතුළු සියලු කරුණු විභාග කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හා සම්පත් බී. අබේකෝන් යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඒ. පී. ජයවීර මහතාගේ උපදෙස් පරිදි ප්‍රභාත් එස්. අමරසිංහ මහතා සමග ශ්‍යාමල් ඒ. කොල්ලුරේ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here