ශ්‍රී ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත්, බෙල් 212 හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර, එම ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා දෙහිඅත්තකණ්ඩිය පොලීසියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියෝග කර තිබෙනවා.
මාදුරුඔය ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබියදී එම ගුවන් යානය අනතුරට ලක්වුණා.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් බුද්ධික මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින් වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා එම නියෝගය සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියා සිටියේ ඉකුත් 9 දින මාදුරුඔය ශ්‍රි ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ විසිර යාමේ උත්සවයක් පැවති බවයි.
එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ සිට ගුවන්ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුධ හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරට ගොඩ බස්වා එම කඳවුරෙන් සෙබළු පිහිප දෙනෙකු හෙලිකොප්ටර් යානයට නංවා ගෙන නිදර්ශන කටයුත්තක් සඳහා යළි ගුවන් ගත වී තිබෙනවා.
එලෙස ගුවන්ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියසාර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව අරලංගවිල පොලිසිය විසින් පළමුව දැනුම් දුන් බවයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය අධිකරණයට කියා සිටියේ.
අනතුරුව වහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුවත් කර කඩා වැටුනු යානයේ සිටි පිරිස් මුදා ගැනීමේ සහ රෝහල්ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බවද පොලීසිය පැවසුවා.
මෙම ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය අනතුර සම්බ්නධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින්ද විමර්ශන සිදු කරන බවයි දැනුම් දී ඇත්තේ.
පොලිසියේ මෙම කරුණු දැක්වීම සැළකිල්ලට ගත් දෙහිඅත්තකන්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහතා පොලිසියට සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට නියෝග කලේ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන සිදු කර ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දෙහිඅත්තකන්ඩිය පොලිසියට තවදුරටත් නියෝග කෙරුණා.
Saru FM Media