මාතලේ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

0
6

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 170කට අධික වියදමින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති රැසක් 07දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

ඒ යටතේ රුපියල් මිලියන 57 කට අධික වියදමින් නවීකරණය කරන ලද බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය, රුපියල් මිලියන 5කට අධික මුදලක් වැය කර නවීකරණය කරන ලද රෝහලේ පොදු ගබඩාව සහ රුපියල් මිලියන 8කට අධික මුදලක් වැය කර රෝහල් පරිශ්‍රයේ අලු‍තින් ස්ථාපනය කරන ලද කසළ කළමනාකරණ ඒකකය ද ඇතුළත් විය.

එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය නිල නිවාස සහ රථ ගාල්, 18 වාට්ටුව, රෝහල් ආරක්ෂක අංශයේ කාර්යාලය මෙම ව්‍යාපෘතිවලට අයත්ය. මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතින 5,6,7,9 සහ 13 වාට්ටු, සූතිකාගාරය, මාතෘ වාට්ටු සංකීර්ණය, ශල්‍ය වාට්ටුව සහ අලංකරණය කරමින් පවතින බාහිර රෝගී අංශ පිවිසුම සහ රෝහල් භූමිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිද, බාහිර රෝගී අංශ රසායනාගාරය, බාහිර රෝගී අංශ ඖෂධ නිකුත් කරන ස්ථානය, හදිසි ප්‍රතිකාර ඒකකය, වාට්ටු, මුළුතැන්ගෙය, සායන පරිශ්‍රය ඇතුළු ස්ථාන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයටද ලක්විය. මීට අමතරව රෝහල් පරිශ්‍රයේ හරිත පරිසර කමිටුව විසින් සංවිධානය කර තිබූ වගා ව්‍යාපෘතියද ආරම්භ කරමින් අමාත්‍යවරයා රෝහල් පරිශ්‍රයේ පොල් පැලයක් සිටුවීමටද එක්විය.

මෙදින ජනතා අයිතියට පත්කළ සියලු‍ ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 170 කට අධික මුදලක් වැයකර ඇති බවත්, මෙම වර්ෂයේදී මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බවත්, ඉතිරි ව්‍යාපෘතිද මෙම වසර අවසන් වීමට පෙර නිමා කිරීමට බලාපොරොත්තු වන බවත්, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

විවෘත කිරීම් සහ රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පාලන අධිකාරිය සහ කාර්ය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවකද නිරත විය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා තම මව්රටට සේවය කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පොදු ඉල්ලීමක් කල අතර ඔවුන්ට අවශ්‍ය සියලු‍ පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු‍ වෘත්තීන් නියෝජනය කරමින් රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here