Thursday, May 15, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් මාතලේ රොන්මඩ වළක සිර වූ ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට දුෂ්කර සටනක්

මාතලේ රොන්මඩ වළක සිර වූ ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට දුෂ්කර සටනක්

0
2


a-difficult-battle-to-save-the-life-of-an-elephant-trapped-in-a-mud-pit-in-matale

මාතලේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගඟ දුන්කලදෙණිය ප්‍රදේශයේ වන ළැහැබක් මැද පිහිටි පතල් වළක රොන්මඩ තුළ සිර වී දින හතරක පමණ කාලයක සිට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින ඇතින්නකගේ ජීවිතය බේරා දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

දින හතරකට පමණ පෙර මෙම ඇතින්න ප්‍රදේශවාසීන්ට මුලින්ම හමු වූ අතර ඔවුන් වහාම වනජීවී නිලධාරීන් දැනුවත් කළ බව ප්‍රකාශ කරති. ඒ අනුව වනජීවී නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇතින්න එම ස්ථානයෙන් මඳක් දුරට ඇද ගෙන ගොස් ප්‍රතිකාර ලබා දී පිටව ගොස් ඇත. එහෙත් නිලධාරීන් පිටව ගිය පසු ඇතින්න නැවතත් එම රොන්මඩ පිරුණු පතල් වළට පැමිණ සිර වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. වර්තමානයේ මෙම ඇතින්න ආහාර හා ජලය නොමැතිව, දැඩි අව්වට නිරාවරණය වෙමින් එම වළේ සිර වී සිටින බවට දැඩි කනස්සල්ල පළ කරති.
ප්‍රදේශවාසීන් එක්ව මෙම අසරණ ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට විවිධාකාර උත්සාහයන් දරමින් සිටිති. ඔවුන් විසින් විවිධ ආහාර වර්ග රැගෙන ඇවිත් ඇතින්නට ලබා දෙන අයුරු නිරීක්ෂණය කළ හැකි විය.


තවද, ඇතින්න සිටින මඩ වගුරේ ඉහළින් සෙවණක් සාදා ඇති අයුරුද දක්නට ලැබුණි. ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වන්නේ මෙම අසරණ සතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවයි.
මේ අතර, ප්‍රදේශවාසීන් තවදුරටත් මෙම ප්‍රශ්නය පිටුපස ඇති ගැඹුරු ආර්ථික හා පාරිසරික ගැටලු ද පෙන්වා දෙති. ඔවුන් සඳහන් කරන්නේ මෙම ප්‍රදේශය පෙර මිනිසුන් ගොවිතැන් කළ, අනුමැතිය ලද භූමි ප්‍රදේශයක් වූ බවත්, පසුව එම ඉඩම් මහවැලි අධිකාරිය විසින් රජයට පවරා ගත් බවත්ය. මේ වන විට, එම ඉඩම් හිමිකරුවන්ට නැවත ලබාදීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම්වරයාගේ භාරයේ තබා ඇති අතර, බලපෑම් සහිත පුද්ගලයින්ට පතල් කැණීම් සඳහා බලපත්‍ර ලබා දෙන බවට ද ඔවුන් චෝදනා කරති.
ඇතින්නගේ ජීවිතය තවමත් අවදානමේ පවතින අතර, ප්‍රදේශවාසීන් විසින් ඇතින්න බේරා ගැනීමට දරන උත්සාහයන් අඛණ්ඩව සිදු වෙමින් පවතී. වනජීවී බලධාරීන්ගේ වහා මැදිහත්වීම මෙම අසරණ සතාගේ ජීවිතය බේරා ගැනීමට අත්‍යවශ්‍ය බව ප්‍රදේශවාසීන් අවධාරණය කරති.

gossiplanka image 2


gossiplanka image 3



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here