මහ වැස්සෙන් අයෙක් මරුට: 396 ක් පීඩාවට – ගංවතුරට හසුවූ විදෙස් සංචාරකයන් 30ක් බේරාගනී

0
2

බස්නාහිර -දකුණ -සබරගමුව ඇතුළු පළාත් 6 කට ගිගුරුම් වැසි
දිස්ත්‍රික්ක 6 කට නාය අවදානම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ (19දා) වන විට කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 99 කට අයත් පුද්ගලයන් 396 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර එක් මරණයක් ද වාර්තා වී ඇත.

අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ 57 හැවිරිදි මුදලිහාමිගේ ඉලංගරත්න නමැති අය ජල පහරකට හසුවීමෙන් මියගොස් ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 88 කට අර්ධ හානි සිදුවී ඇති අතර ආරක්‍ෂිත ස්ථාන 01 ක පවුල් 03 ක පුද්ගලයන් 09 ක් රැඳවීමට පියවර ගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ද ජනතාව පීඩාවට පත්ව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසු වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැඟෙනහිර පළාතේ උදෑසන කාලයේ වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඌව පරණගම, මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, දොළුව, උඩුනුවර, උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල, අණායක, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, අඹගහකෝරළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, අඹගමුව, වලපනේ, රත්නපුර, දිස්ත්‍රික්කයේ, ඉඹුල්පෙ, කලවාන, ඇහැලියගොඩ, රත්නපුර, වැලිගෙපොල යන ප්‍රදේශවලට විමලිසිමත් මට්ටමේ (කහ වර්ණ) අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබුණි.

ඊයේ (19දා) පෙරවරු 6.00 ට අවසන් පැය 12 ක කාලය තුළ රත්නපුර ගැට්ටුකඩේ ප්‍රදේශයට මිලිමීටර් 121 ක්, කොළඹ හංවැල්ලට මිලිමීටර් 112ක්, කළුතර බුලත්සිංහලට මිලිමීටර් 84ක්, කුරුණෑගල දඹදෙණියට මිලිමීටර් 70.40ක්, ගම්පහ වතුපිටිවලට මිලිමීටර් 66.50 ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය වාර්තා වී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර රාජාංගණය ජලාශය වාන් දොරටු 04ක් අඩි 02 බැගින් ද, අංගමුව ජලාශය වාන් දොරටු 02ක් අඩි 05 බැගින් ද, කලාවැව දොරටු 02ක් අඩි 02 බැගින් ද, කුරුණෑගල දැදුරුඔය ජලාශය වාන් දොරටු 02ක් අඩි 01 බැගින් ද, මාතලේ ඉබ්බන්කටුව ජලාශය වාන් දොරටු 04ක් අඩි 01 බැගින් ද ඊයේ (19දා) පෙරවරුව වනවිට විවෘත කර තිබුණි.
චමින්ද සිල්වා සහ ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here