ගසකින් වහලයට නැගලා කෞතුකාගාරයට හොරු ඇතුළු වෙලා
පිළිමයක් විකුණන්න ආවොත් ළඟම පොලිසියට කියන්න
විහාරාධිපති නාහිමියෝ
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් 22 වැනිදා රාත්‍රි, කෞතුකාගාරයේ දොරක් කඩා සොරකම් කර ගෙන ගොස් ඇති බව, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැණීම් සිදු කළ අවස්ථාවේ එහි තිබී හමු වූ බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇති බවත්, තඹ ලෝහයෙන් සකස් කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටි සේක.
කෞතුකාගාරය පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැඟ ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළුවී, එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති බවත්, මාස කිහිපයක සිය කෞතුකාගාරයේ සීසීටීවී කැමරා ද අක්‍රියව තිබූ බවත්, කෞතුකාගාරයේ පිටුපස තිබූ කැමරාවක රාත්‍රී 1.00ට පමණ පුද්ගලයන් දෙදෙනකු ස්කූටියකින් ගමන් කරන ආකාරය සටහන්ව ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
රජමහා විහාරස්ථානය දෙපස ගම්මානවල දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා පිරිසක් සිටින බැවින්, නිරන්තරයෙන් මහියංගණ රජමහා විහාරස්ථානයේ සොරකම් රැසක් සිදුවන බවත්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මෙම සොරකම්වලට සම්බන්ධ බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ.
මහියංගණ රජමහා විහාරස්ථානයේ පොලිස් මුරකුටියක් හා යුද හමුදා කඳවුරක් තිබුණ ද එම නිලධාරින්ගෙන් රජමහා විහාරස්ථානයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය නිලධාරින් එම ආයතයන්හි අවම ප්‍රමාණයක සිටීම හේතුවෙන් රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සපුරාලීමට නොහැකිව ඇති බවත්, වගකිවයුතු බලධාරින්ගේ මැදිහත්වීමකින් විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
රටේ කිසියම් ප්‍රදේශයකදී, කිලෝ 40ක් පමණ බරැති තඹ ලෝහයෙන් සකස් කරන ලද බුද්ධ ප්‍රතිමාවක්, කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් අලෙවි කිරීමට සැරසෙන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස උන්වහන්සේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මහියංගණ – රංජිත් කරුණාවීර
Saru FM Media











