Tuesday, May 6, 2025
Saru FM Media
Home මහාවංශය මහාවංශය 31

මහාවංශය 31

0
13


රජුන් හය දෙනා

01. එ් උත්තිය රජුගේ ඇවෑමෙන් ඔහුගේ කනිෂ්ට මලණුවන් වූ මහාසිව රජු සුදනන් ඇසුරු කරමින් දස වසරක් රාජ්‍යය කළේ ය.
02. හෙතෙමේ භද්දසාල තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී පෙරදිගින් නගරංගණ නම් වූ විහාරයක් කරවී ය.
03. මහාසිව රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ සූරතිස්ස රජ තෙමේ පුණ්‍ය කටයුතු කෙරෙහි සාදර ගෞරවයෙන් දස වසරක් රජකම් කළේ ය.
04. දකුණු දිගින් නගරංගණ නම් විහාරය කරවී ය. නැගෙනහිර ඇත් කඳ වෙහෙර ද ගෝණගල ද
05. වංගුත්තර පර්වතයේ නැගෙනහිරින් පබ්බත විහාරය ද රහගල්ලක විහාරය ද සමීපයේ කොළොම්බහාලක විහාරය ද
06. රිටිගල සමීපයේ ලංකාරාමය ද නැගෙනහිරින් වලස්ගල ද නගරයට උතුරු දෙසින් ගිරිනිල්පනාකඩ ද
07. මේ ආදි වූ පන්සියයක් වූ රමණීය විහාරයන් මිහිපති තෙමේ ලක්දිව එ් එ් තැන ගඟින් එතෙරත් – මෙතෙරත්,
08. රජ වීමට පෙරත් – පසුත් සැට අවුරුද්දක් පුරා මනා කොට කළේ ය. ධර්මයේ ඇලූණු, තෙරුවන් කෙරෙහි ගෞරව ඇති
09. හෙතෙමේ රජ වීමට පෙර ‘ස්වර්ණපිණ්ඩ තිස්ස’ යැයි විය. රජ බවට පැමිණීමෙන් පසු ‘සූරතිස්ස’ නම් වී ය.
10. මහත් බල ඇති, අස් – නැවි පුතුන් වූ සේන – ගුත්තික නම් දමිළයන් දෙදෙනා එ් සූරතිස්ස රජු ගෙන,
11. වසර විසි දෙකක් දැහැමින් රාජ්‍යය කරවූහ. මුටසීව රජ පුත් අසේලයන් විසින් එ් දෙදෙනා ගනු ලැබුණේ ය.
12. එක කුස උපන් සොහොයුරන් අතරින් නව වැන්නා වූ (අසේල රජු) දස වසරක් අනුරාධපුරයේ රජකම් කළේ ය.
13. ඍජු ස්වභාව ඇති එළාර නම් දමිළ තෙමේ චෝළ රට සිට මෙහි පැමිණ අසේල රජු අල්වාගෙන
14. හතලිස් හතර අවුරුද්දක් රාජ්‍යය කළේ ය. රජ තෙමේ විනිශ්චය කරන කාලයේ සතුරන්ට ද මිතුරන්ට ද මධ්‍යස්ථව,
15. විනිශ්චය කැමති වන්නවුන්ට හඬවනු පිණිස ඉතා දිගු යොතකින් යුතු වූ ඝන්ටාරයක් ඇඳ හිස පැත්තකින් එල්වී ය.
16. එ් රජු හට එක් පුතෙක් ද දුවක් ද වූහ. එ් රජ කුමරු තෙමේ රථයේ නැගී තිසා වැවට යන්නේ,
17. මව් දෙන සමග මඟ හුන් තරුණ වස්සෙකුගේ බෙල්ල නො දැනී ම රිය සකින් පෑගී මරණයට පත් තෙරුණේ ය.
18. එ් මව් දෙන ගැටුණු සිත් ඇතිව ගොස් ඝන්ටාරය ගැසුවා ය. රජ තෙමේ එ් (රිය) සකෙන් ම පුතුගේ හිස සිඳවී ය.
19. තල් ගසක හුන් ලිහිණි පැටියෙක් එක් සර්පයෙක් විසින් කනු ලැබිණි. එ් පැටවාගේ මව් කිරිල්ල ගොස් ඝන්ටාරය ගැසුවා ය.
20. රජ තෙමේ එ් සර්පයා ගෙන්වා උගේ බඩ පළා එ් පැටියා බැහැර කොට තල් ගසේ තබා ඇණ ගස්වන ලද්දේ ය.
21. උතුම් තුනුරුවනේ ගුණසාර බවින් යුතු, උසස් මානසික ස්වභාව නො දත් රජ තෙමේ චාරිත‍්‍ර ආරක්ෂා කරමින්,
22. සෑගිරියට ගොස් භික්ෂු සංඝයා පවරා පැමිණෙමින් රථයේ හුන්නේ, රථයේ විය ගස කොණින්
23. සම්බුද්ධ ථූපයක එක් දිශාවකින් බිඳුණේ ය. අමාත්‍ය තෙමේ රජු හට, ”දේවයන් වහන්ස, අපගේ ථූපය ඔබ විසින් බිඳින ලද්දේ ය” යැයි කීවේ ය.
24. නො දැන කළ දෙයක් වුව ද රජ තෙමේ රථයෙන් බැස ‘‘චක‍්‍රයෙන් මාගේ හිස සිඳින්න” යැයි කියා මඟ වැතිරුණේ ය.
25. ‘‘මහ රජතුමනි, අපගේ ශාස්තෘන් වහන්සේ අනුන්ට හිංසා කිරීම නො කැමති සේක. ථූපය පිළිසකර කොට කමා කරවුව මැනව.” යැයි (ඇමති තෙමේ) ඔහුට කීවේ ය.
26. හෙතෙමේ එහි වැටුණු ගල් පහලොවක් පමණ පිළිසකර කරවා කහවණු පහලොස් දහසක් ද දුන්නේ ය.
27. එක මැහැල්ලක් වී වේළෙන්නට අවුවේ දැමුවා ය. අකල් වැස්සක් වැටී එ් වී තෙමන ලද්දේ ය.
28. ( ඕ තුමූ) වී ගෙන ගොස් එ් ඝන්ටාරය හැඬවූවා ය. එ් අකල් වැස්ස අසා එ් ස්ත‍්‍රිය පිටත් කොට,
29. ‘රජු දැහැමි ව වාසය කරන විට කල් වැසි ලැබෙන්නේ ය’ යන්න විසඳීම පිණිස උපවාසයට එළඹුණේ ය.
30. බිලි පුද ගන්නා දෙව් පුතු රජුගේ තේජසින් මැඞී ගියේ, සතරවරම් දෙව් මහ රජුන් වෙත ගොස් එ් බව සැල කළේ ය.
31. එ් දෙවියෝ ඔහු ගෙන ගොස් සක් දෙවිඳුන් හට දැක්වූහ. සක් දෙවිඳු තෙමේ වැස්ස වලාහක දෙවියන් කැඳවා කල් වැසි උපද්දවන්නට අණ කළේ ය.
32. බිලි පුද ගන්නා දෙව් පුතු රජු හට එ් පුවත දැන්වී ය. එතැන් පටන් එ් රාජ්‍යයේ දහවල වැසි නො වැටුණේ ය.
33. සත් දවසකින් මැදියම් රැයේ දී ම වැසි වැටුණේ ය. සෑම තැනක ම කුඩා වළ පවා (වැසි දියෙන්) පිරුණේ ය.
34. නො නසන ලද මිථ්‍යා දෘෂ්ටි ඇති මේ තෙමේ අගතිගාමී ෙදා්ෂයෙන් මිදුණු පමණින් මෙවන් මහිමයට පැමිණියේ ය. සම්‍යදෘෂ්ටික වූ, මේ ලොව උපන් නුවණැති මිනිසුන් අගතිගාමී දෝෂය කෙසේ නම් නො හරින්න ද?

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ රජුන් හය දෙනා නම් විසි එක්වන පරිච්ඡේදය නිම විය.)

ගාමණී කුමරුගේ කථා පුවත

01. එළාර රජු නසා දුට්ඨගාමණී තෙමේ රජ වී ය. එ් බව ප‍්‍රකාශ කරන්නට මේ වනාහී අනුපිළිවෙළ කථාවයි.
02. දෙවන පෑතිස් රජුගේ දෙවන සහෝදරයා වූ, මහානාග නම් වූ, සොයුරු රජු හට ප‍්‍රිය වූ, යුව රජ කෙනෙක් වී ය.
03. රජ දේවිය නුවණින් අඩු වූවා තම පුතු හට රාජ්‍යය ගනු කැමැත්තෙන්, නිතර යුව රජු මරනු පිණිස උපන් කල්පනා ඇත්තී,
04. වලස්වැව කරවන එ් යුව රජු හට විෂ යෙදූ අඹයක් අඹ මතුපිට තබා යැවුවා ය.
05. එ් බිසවගේ බාල පුතු යුව රජු සමග ගියේ භාජනය විවර කළ සැණින් එ් අඹය කා, මරණයට පත් වූයේ ය.
06. යුව රජ තෙමේ එයින් ම තම භාර්යාව හා බල වාහන සමග තම දිවි රැුක ගන්නට රුහුණ බලා ගියේ ය.
07. එ් (යුව රජුගේ) ගැබ් ගත් මෙහෙසි තුමූ යටාල වෙහෙර දී පුතෙකු බිහි කළා ය. හෙතෙම තම පුතු හට සොයුරාගේ (තිස්ස යන)  නම තැබුවේ ය.
08. ඉන් පසුව එ් ක්ෂතී‍්‍රය තෙමේ රුහුණු රටට ගොස් මුළු රුහුණු රටට ම අධිපති වූයේ මහා සම්පත් ඇති ව මාගම හිඳ රාජ්‍යය කළේ ය.
09. එ් මහානාග තෙමේ තම නමින් මහා විහාරයක් කළේ ය. උඩුකඳුර ආදි වූ තවත් බොහෝ විහාර ද කරවී ය.
10. (එ් රජුගේ) ඇවෑමෙන් ඔහුගේ පුතු වූ යටාලතිස්ස තෙමේ රාජ්‍යය කළේ ය. එසේ ම ඔහුගේ පුතු වූ අභය තෙමේ ද රාජ්‍යය කළේ ය.
11. ගෝඨාභය පුතු වූ, කාවන්තිස්ස යැයි ප‍්‍රසිද්ධ වූ ක්ෂතී‍්‍රය තෙමේ පිය රජුගේ ඇවෑමෙන් එහි රාජ්‍යය කළේ ය.
12. ශ‍්‍රද්ධා සම්පන්න වූ එ් යුව රජු හට කැලණි රජුගේ දියණිය වූ විහාර දේවිය නම් සැදැහැති කුමරියක් මෙහෙසිය වූවා ය.
13. කැලණියේ රජකම් කළ තිස්ස නම් ක්ෂත‍්‍රීයයාගේ දේවිය හා සබඳකමක් ඇති කර ගැනීමෙන් (රජු ව)කෝප ගන්වන ලද, කනිටු වූ,
14. ආර්ය උත්තිය නම් කුමර තෙමේ බියෙන් පළා ගොස් අන් තැනක වාසය කළේ ය. එයින් එ් ප‍්‍රදේශය එ් නාමය ම ලද්දේ ය.
15. (එ් ආර්ය උත්තිය තෙමේ) දේවියට දෙනු පිණිස රහස් ලියුමක් දී භික්ෂු වෙස් ගත් මිනිසෙකු යැවී ය. හෙතෙමේ රජ ගෙයි දොරටුවේ සිටියේ ය.
16. රජ ගෙයි හැමදා වළඳන රහත් තෙරණුවන් වහන්සේ හා අප‍්‍රසිද්ධියේ (හෙතෙමේ ද) රජ ගෙට ඇතුළු විය.
17. තෙරුන් වහන්සේ සමගින් ආහාර ගෙන, රජු හා පිටත් වන කල දේවිය බලා හිඳිද්දී (හෙතෙමේ) ලියුම බිම දැමුවේ ය.
18. එ් ශබ්දයෙන් රජ තෙමේ හැරී බලා, එ් ලිපි සන්දේශය දැක මුග්ධ මනසින් තෙරණුවන් වහන්සේ කෙරෙහි කිපී,
19. එ් තෙරුන් වහන්සේ ව ද පුරුෂයා ව ද ක්‍රෝධයෙන් මරවා මුහුදට දැම්මවී ය. එයින් දෙවියෝ කිපී,
20. රට මුහුදෙන් යට කළෝ ය. එයින් එ් රජ තෙමේ දේවි නම් වූ සිය සුරූපී දියණිය
21. රන් සැලක හිඳුවා, එහි ‘රාජ දියණියකි’ යැයි ලියා, එය විගසින් මුහුදට යැවුවේ ය.
22. එය රුහුණු රට ලංකා විහාරයට ගොඩ බැස්සේ ය. කාවන්තිස්ස රජ තෙමේ එ් කුමරිය මෙහෙසි තනතුරේ අභිෂේක කළේ ය.
23. තිස්ස මහා විහාරය, එසේ ම සිතුල් පව්ව, ගමට්ඨාවාලය, කූටාලය යනාදි වූ විහාරයන්
24. තුනුරුවන් කෙරෙහි සුපසන් වූ සිතින් කරවා හෙතෙමේ හැම කල්හි සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘ගාමණී කුමරුගේ කථා පුවත’ නම් වූ විසි දෙවන පරිච්ෙඡ්දයේ කොටසකි.)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here