Tuesday, May 6, 2025
Saru FM Media
Home මහාවංශය මහාවංශය 13

මහාවංශය 13

0
19


01. අතීතයේ වගු රට, වගු නුවර, වගු රජ කෙනෙකු සිටියේ ය. කලිඟු රජුගේ දියණියක් ඔහුගේ මෙහෙසිය වූවා ය.
02. ඒ රජ දේවියගෙන් වගු රජු හට එක් දියණියක ලැබිණි. නිමිති පවසන්නෝ මේ දියණිය සිංහයෙකු සමඟ සංවාසයේ යෙදෙන බව පැවසුවෝ ය.
03. අතිශයින් රූපසම්පන්න වූ, අතිශයින් කාමයෙහි ඇලී ගියා වූ ඇය ව රජුත්, දේවියත් විසින් පිළිකුල් කෙරෙන ලදී.
04. තමන්ට රුචි අයුරින් හැසිරෙන්නට කැමති වූ ඇය තනිව ම, අප‍්‍රසිද්ධියේ ම, මගධ රට බලා වෙළඳාමේ යන පිරිසක් සමඟ එක්ව නික්ම ගියා ය.
05. ලාට රට පිහිටි පෙදෙසේ දී සිංහයෙක් මේ වෙළඳ පිරිස දෙසට දිව ආවේ ය. එවිට පිරිස හිස හැරුණු හැරුණු අත දිවයන්නේ අන්සියල්ලෝ වෙනත් දිශාවන්ට දිව ගිය අතර කුමරිය සිංහයා පැමිණි දිශාවට දිව ගියා ය.
06. ඒ සිංහයා ගොදුරු රැගෙන ආපසු යන අතරේ දුර දී ම ඇය ව දැක, ඇය කෙරෙහි පිළිබඳ සිත් ඇති ව, කන් පහතට හෙළා නගුට සලමින් ඇය වෙතට ආවේ ය.
07. ඇය ද සිංහයා දැක, පෙර අසන ලද නිමිත්ත පවසන්නන්ගේ වචනය සිහිපත් කොට ගෙන, කිසි බියකින් තොරව, ආශාව ඇති කරවමින් සිංහයාව ස්පර්ශ කළා ය.
08. ඇයගේ පහසට අතිශයින් ඇලී ගිය සිංහයා ඇය ව කරපිට තබාගෙන වහා සිය ගුහාවට රැගෙන ගොස් ඇය සමඟ සංවාසයේ යෙදුණේ ය.
09. මේ දෙදෙනාගේ එක්වීම නිසාවෙන් ඇය සුදුසු කාලයේ දී දුවක හා පුතෙකු ලෙස නිවුන් දරුවන් බිහි කළා ය.
10. අත් පා සිංහයෙකුගේ වැනි වූ ඒ පුතු ඒ නිසාවෙන් සිංහබාහු නම් වූ අතර දියණිය සිංහ සීවලී නම් වූවා ය.
11. සොළොස් වැනි වියට පත් වූ ඒ පුතු ”නුඹ හා අපගේ පියාණන් කුමක් නිසා වෙනස් ආකාර වූයේ ද?” යනුවෙන් තම සිතෙහි උපන් සැකය මෑණියන්ගෙන් ඇසුවේ ය.
12. ඇය පුතු හට සියල්ල පැවසූ විට හෙතෙමේ, ‘‘අප මිනිස් වාසයට නො යා සිටින්නේ කුමක් නිසා ද?” යැයි ඇසුවේ ය. ‘‘ඔබේ පියා ගුහා දොර ගලකින් වසන නිසා යා නො හැක.” යැයි ඇය පැවසුවා ය.
13. එවිට ඒ සිංහබාහු කුමරු ඒ විශාල ගල් ගුහාව වසා තිබූ ගල කර තබා ගෙන එක් දිනක් තුළ පනස් යොදුනක් ගමන් කොට පැමිණියේ ය.
14. සිංහයා ගොදුරු සොයා ගිය පසු මෑණියන් දකුණු කරෙහි ද නැගණිය වම් කරෙහි ද තබා ගෙන ඔහු වහා ම ගල් ගුහාවෙන් පැන ගියේ ය.
15. කොළ අතු හැඳ ගත් ඔවුහු පසල් ගමකට පැමිණියෝ ය. ඒ වගු රට රජ දියණියගේ මයිලණුවන්ගේ පුත් වූ,
16. වගු රජු සෙනෙවිතුමා ඒ පසල් ගම නුග රුකක් මුල කර්මාන්තයන්ට විධාන සලසමින් සිටියේ ය.
17. හෙතෙමේ ඔවුන් දැක ‘‘ඔබ කවුරුන් ද?” යැයි ඇසී ය. එවිට ඔවුහු ‘‘අපි කැලයේ වෙසෙන්නවුන් වෙමු” යැයි පැවසුවෝ ය. ඒ සෙනෙවිතුමා ඔවුන්ට වස්ත‍්‍ර දුන්නේ ය.
18. ඒ වස්ත‍්‍ර අනර්ඝ වස්ත‍්‍ර බවට පත්විය. පත‍්‍රවල තබා බත් දුන් විට ඔවුන්ගේ පිනෙන් ඒ පත‍්‍ර රන් බඳුන් බවට පත්විය.
19. ඒ දැක පුදුමයට පත් වූ සෙනෙවිවරයා ‘‘ඔබ කවුරුන් ද?” යැයි නැවතත් අසා සිටියේ ය. එවිට ඒ රජ දියණිය තම කුල ගොත් ඔහු හට පැවසුවා ය.
20. සිය ඇවැස්ස නැන්දණියගේ දියණිය වූ ඇය රැගෙන වගු නුවරට ගිය සෙනෙවිවරයා ඇය සමඟ වාසය කළේ ය.
21. සිංහයා ගුහාවට ගොස් ඒ තිදෙනා නො දැක මහත් වූ පුත‍්‍ර ශෝකයෙන් යුතු වූයේ නො කා, නො බී හුන්නේ ය.
22. හෙතෙමේ ඒ දරුවන් සොය සොයා පිටිසර ගම්වලට පැමිණියේ ය. සිංහයා යම් ගමකට ඇතුළු වූයේ ද ඒ ගම් හිස්වන්නට විය.
23. පිටිසර බද ගම්වාසීහු රජු වෙත ගොස්, ‘‘දේවයන් වහන්ස, සිංහයෙක් ඔබවහන්සේගේ රාජ්‍යය පීඩාවට පත්කරන්නේ ය. වහා ඔහු නවතාලූව මැනව.” යැයි පවසා සිටියෝ ය.
24. රජ තෙමේ සිංහයා නැසිය හැකි තැනැත්තෙක් හමු නො වුණ නිසාවෙන් ඇතුපිට දහසින් බැඳි පියල්ලක් තබා ‘සිංහයා යටත්කර ගත හැක්කෙකු මෙය ගනිත්වා!’ යැයි අණ බෙර යැ වී ය.
25. ඒ නරේශ්වරයන් තෙමේ දෙදහසක් ද තුන්දහසක් ද යනුවෙන් රන්පියලි තබා ඒ අයුරින් ම අණ බෙර යැ වී ය.
26. දෙවරක් ම මෑණියන් විසින් වළකන ලද සිංහබාහු තෙමේ තුන්වන වර මෑණියන්ගෙන් නො අසා ම තම පියා නසනු පිණිස ඒ තුන්දහස ගත්තේ ය.
27. කුමරුන් රජු වෙත පමුණුවන ලදි. එවිට රජ තෙමේ, ‘‘ඔබ විසින් සිංහයා යටත් කර ගන්නේ නම් එම රට ඔබට භාර දෙමි” යි පැවසුවේ ය.
28. කුමරු ඒ ගුහා දොර අසලට ගියේ, දුර දී ම සිංහයා දුටුවේ ය. හෙතෙම ඒ පුත‍්‍ර ස්නේහයෙන් පැමිණෙන සිංහයාට හී සරයක් විද්දේ ය.
29. ඒ හී සරය සිංහයාගේ නළලේ වැදී උහුගේ මෙත් සිත නිසාවෙන් පෙරළා පැමිණ කුමරුගේ පා මුල බිම වැටිණි.
30. තුන්වරක් ම එය එසේ ම සිදු විය. පසු ව මෘගරාජයා කිපුණේ ය. අනතුරු ව යවන ලද හීසරය සිංහයාගේ සිරුර පසාරුකොට ගෙන නිකුත් විය.
31. කුමරු ඒ කේශර සහිත වූ සිංහ හිස නගරයට රැගෙන ගියේ ය. එදින, වගු රජුගේ මරණයෙන් පසු ගෙවී ගිය සත්වන දිනය විය.
32. වගු රජු හට පුතුන් නො වූ බැවිනුත්, සිංහබාහුගේ ක‍්‍රියාවන් ප‍්‍රසිද්ධ වූ බැවිනුත්, හෙතෙම රජුගේ මුණුපුරා යැයි ඇසූ බැවිනුත්, මව් කුමරියව හැඳින ගත් බැවිනුත්,
33. අමාත්‍යයන් පිරිස එක් වී ඒකමතික කැමැත්තෙන් සිංහබාහු කුමරු හට රජවන්න යැයි කීහ.
34. හෙතෙමේ රාජ්‍යය භාර ගෙන, මෑණියන් ව ඇයගේ ස්වාමියා හට භාර දී, සිංහ සීවලිය ද කැටුව උපන් බිමට ගියේ ය.
35. හෙතෙම එහි නගරයක් කර වී ය. එය ‘සිංහපුර’ නම් විය. එසේ ම යොදුන් සියයක් වූ වනයෙහි ගම් ද වාසස්ථාන ද කර වී ය.
36. ලාට රට පිහිටි ඒ නුවර සිංහබාහු රජ තෙමේ සිංහ සීවලිය මෙහෙසිය කොට ගෙන රාජ්‍යය කළේ ය.
37. ඒ මෙහෙසිය දහසය වරක දී පුතුන් දෙදෙනා බැගින් සුදුසු කාලයේ දී පුතුන් බිහි කළා ය. දෙටුපුතු විජය නම් විය.
38. දෙවැනි පුතු සුමිත්ත නම් විය. රජ තෙමේ ඒ දෙතිසක් වූ පුතුන් අතරින් විජය කුමරුන් ව සුදුසු කාලයේ දී උපරාජ්‍යයෙහි අභිෂේක කළේ ය.
39. විජය කුමරු වනාහි නො මනා හැසිරීම් ඇත්තෙක් විය. ඔහුගේ පිරිස ද එසේ ම වූහ. ඔවුහු ඉවසිය නො හැකි තරම් වූ නොයෙකුත් බලහත්කාරකම් සිදු කළහ.
40. එයින් කෝපයට පත් මහජනයා රජු හට ඒ බව කියා සිටියේ ය. රජ තෙමේ කළ යුත්ත හඟවා පුතු හට මැනැවින් අවවාද කළේ ය.
41. දෙවන වර ද එය ම සිදු විය. තුන්වන වාරයේ දී කෝපයට පත් වූ මහජනයා ‘‘ඔබේ පුතු මරා දැමුව මැනව” යැයි රජුට කියා සිටියේ ය.
42. රජ තෙමේ ඒ විජය කුමරු ඇතුළු පිරිවර වූ සත්සියයක් පුරුෂයන්ගේ හිස් අඩක් මුඩු කරවා,
43. නැවක නංවා මුහුදට පිටමන් කළේ ය. එලෙසින් ම ඔවුන්ගේ බිරින්දෑවරුන් ද කුමරුවන් ද පිටමන් කරනු ලැබිණි.
44. වෙන්වෙන් ව මුහුදට පිටකරවන ලද ඒ පුරුෂයන් ද ස්ත‍්‍රීන් ද කුමරුවන් ද වෙන්වෙන් දුපත්වල ගොඩ බැස්සෝ ය. ඔවුහු ඒ දිවයින්වල ම වාසය කළහ.
45. කුමරුවන් ගොඩ බසිනා ලද දිවයින මහින්ද ද්වීපය නම් විය.
46. විජය කුමරු සුප්පාරක පටුනෙහි ගොඩ බැස්සේ ය. පිරිසගේ සාහසික ක‍්‍රියාවන්ගෙන් බියට පත්වූ හෙතෙමේ නැවතත් නැව් නැංගේ ය.
47. සල් ගස් දෙකක් අතරේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑම පිණිස සැතපුණු දිනයේ, ස්ථිර බුද්ධි ඇති විජය කුමර තෙමේ ලංකාවෙහි හෙවත් තම්බපණ්නී දිවයිනෙහි ගොඩ බැස්සේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ විජයාගමනය නම් හයවන පරිච්ඡේදය නිම වූයේ ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here