මහනුවර ජාතික රෝහලේ ගැටලු විසදීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

0
2

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මහනුවර ජාතික රෝහලේ ප්‍රමාද වූ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එම රෝහලේ හෘද හා පිළිකා වාට්ටු සංකීර්ණවල ඉදිකිරීම් සිදුකරමින් පවතින බවත් ඉදිරි වර්ෂය අවසානයේදී එය මහජනයා වෙනුවෙන් විවෘත කරන බව ද ඒ මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහ නායක හිමියන් සහ අනුනායක හිමිවරුන් බැහැ දැකීම සඳහා අද (13) මහනුවරට පැමිණීමෙන් අනතුරු මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹූල්කුඹූරේ විමලධම්ම හිමියන් ඉදිරිපත් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවය අප්‍රේල් මස 15 වන දින පෙරවරු 06.54 මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරණ අතර එම උත්සවය සඳහා සහභාගීවන ලෙස මහා නායක හිමි දෙනම සහ අනුනායක හිමිවරුන් වෙත ආරාධනා කිරීම මෙහිදී සිදුවිය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් වන පූජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමි, අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමි සහ එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් බැහැ දුටු අමාත්‍යවරයා හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය සඳහා උන්වහන්සේලාට ආරාධනා කරන ලදි.

අමාත්‍යවරයා හමුවේ අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්, මහනුවර ජාතික රෝහල වෙත නන් දෙසින් රෝගීන් පැමිණෙන බැවින් දැනට ප්‍රමාද වී ඇති ඉදිකිරීම් කඩිනම් කිරීම කාලෝචිත යැයි පෙන්වා දුන්නේය. එමෙන්ම මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටුව සහ මහා සංඝරත්නය වෙනුවෙන් රෝහල් පරිශ්‍රයේ ඉදිකොට තිබුණු භික්ෂු වාට්ටුව දැනට වසර කිහිපයක සිට අක්‍රීය තත්ත්වයක පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මහනුවර ජාතික රෝහලේ ප්‍රමාද වූ ඉදිකිරීම් කඩිනම් කිරීම වත්මන් රජය මගින් ආරම්භ කළ බවත් ඊට අමතරව තවත් ඉදිකිරීම් කිහිපයක් දියත් කරන බවත් කීවේය. රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇතැයි කී ඒ මහතා අනවසර පදිංචිකරුවන් සඳහා අසාධාරණයක් නොවන පරිදි රෝහල සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද කීවේය.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.ජී.එන්.දීප්ති සුමනසේන මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

The post මහනුවර ජාතික රෝහලේ ගැටලු විසදීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here