නරේන්ද්‍රසිංහ රාජ නියෝගය පිළිපදින හත්වන පරපුර මම
කතරගම දේවාලය පිහිටලා තියෙන්නෙ මාලිගාවට ටිකක් ඈතින්. නරේන්ද්‍රසිංහ රජතුමා යවපු ඇතා නැවතුන තැන තමයි දේවාලය හදලා තියෙන්නේ…
මගේ දුවලා පස්දෙනාම හැම ආගමකටම ගැඹුරින් ගෞරව කරනවා…
මගේ ජීවිතයේ අහිමි වෙන්න ගිය හැම අවස්ථාවකදීම දෙවියෝ මාව බේරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා
සෝමස්කන්ද අයියාර්තුමා
ඉන්දියානු සම්භවයක් තියෙන පූජකවරයෙක්. ඔහුගේ පරම්පරාව පැවතගෙන එන්නේ නරේන්ද්‍රසිංහ රජතුමාගේ බිරිඳ වන ප්‍රමිලා දේවියගේ පරපුරෙන්.
1707 සිට 1739 දක්වා වන නරේන්ද්‍රසිංහ රජුගේ පාලන කාලය තුළ දී ඉදිකරන ලද මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ පළමු පූජකවරයා ලෙස කටයුතු කර තිබුණේ බාලචන්ද්‍රන් කුරුක්කල් මහතායි. ඔහු කේරළ ප්‍රාන්තයේ පාලකාඩු චත්තපුරම් ගමෙහි වාසය කළ අයෙක්.
ප්‍රමිලා දේවිය විසින් ලංකාවට රැගෙන ආ පිළිම වහන්සේ මාලිගාව අවට දේවාලයක තැන්පත්කොට පුද පූජා පැවැත්වීම සඳහා පූජකවරයකු ද කැටුව එන අවස්ථාවේදී බාල චන්ද්‍රන් කුරුක්කල් මහතා ලංකාවට පැමිණ ඇති බවට අතීත තොරතුරු අනාවරණය කරයි.
නරේන්ද්‍රසිංහ රජු සමය බෞද්ධ හින්දු ආගම් දෙක ඉතා සහයෝගයෙන් සහ සමගියෙන් ජීවත්ව සිටි සමයක්. ලංකාවේ රජවරු ඉන්දියානු කුමාරිකාවන් විවාහ කර ගැනීමේ ක්‍රමයක්ද එකල පැවති නිසාම, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ප්‍රමිලා දේවිය විවාහ කර ගත් නරේන්ද්‍රසිංහ රජුට ලැබුණු දෑවැද්ද වූයේ කතරගම දේව ප්‍රතිමාවයි.
කතරගම දෙවියන්ගේ දේව පිළිමයේ පමණක් මාලිගාවෙන් ඔබ්බෙහි පිහිටුවා තිබීමට හේතුව වූයේ එය ඇතකුගේ නියමයක් වීමයි.
දේවාලයක් සඳහා සුදුසුම ස්ථානයෙන් තෝරනු ඇත්තේ ඇතු විසින් බවට වූ රාජ විශ්වාසය මත, ඇතෙක් මාලිගාවෙන් පිටත්කොට නතර වන තැන කතරගම දෙවිඳුන් වැඩමවා පුද පූජා කිරීමට දේවාලයක් තැනීමට රජු අදහස් කර තිබේ.
ඒ අනුව අදටත් කතරගම දේවාලය පිහිටා ඇත්තේ ඇතා නතර වූ තැනයි.
ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයෙන් පැවත එන පූජක පරම්පරාව ඉන්දියාවේ බ්‍රාහ්මණ කුලයේ පුද්ගලයින්ම බිරින්දෑවරු ලෙසද විවාහ කර ගැනීමට තීරණය කොට තිබෙනවා. බාල චන්ද්‍රන් කුරුක්කල් පූජකවරයාට චන්දන කුරුක්කල්, සභාරත්තින කුරුක්කල්, නාගීශ්වර අයියර් සහ රාමචන්ද්‍ර අයියර් යන පූජකතුමන්ලා සෝමස්කන්ධ අයියර්තුමන්ට පෙර මහනුවර කතරගම දේවාලයේ පූජකවරු ලෙස කටයුතු කර ඇත්තේ පාරම්පරිකවයි.
සෝමස්කන්ධ අයියර් පූජකතුමා කතරගම දේවාලයට පූජකවරයකු ලෙස නිත්‍ය වශයෙන්ම එක්කාසු වී ඇත්තේ 1994 වසරේදී යි. ඒ ඔහුගේ පියා වන රාමචන්ද්‍ර අයියර් තුමන්ගේ බල කිරීමටයි.
“තාත්තට හිටපු එකම පුතා මම. තාත්තා මට බල කරා දේවාලෙ භාරගන්න කියලා. ඒ වෙනකොට මම ඉංජිනේරුවෙක් චීන, හොංකොං, ජර්මනි, ප්‍රංශය ඇතුළු රටවල් රැසකම මම ඉංජිනේරුවෙක් විදියට කටයුතු කළා. අන්තිමට හිඟුරානෙ සීනි කර්මාන්ත ශාලාවේ විදුලි ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරද්දී තමයි දේවාලයේ වැඩ භාර ගන්න කියලා කිව්වේ. තාත්තගේ බල කිරීමට ගත්ත ඒ තීරණය හරි කියලා මම අද හිතනවා. මේක දෙවියන් එක්ක විතරක් නෙමෙයි බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ධර්මය පිළිබඳවත් ගැඹුරින් හදාරන්න ලැබුණු අවස්ථාවක්. මම විශ්වාස කරනවා මේ දේවල් ලැබෙන්නේ පෙර පිනට කියලා…”
ඔහු උපන්නේ ලංකාවේ මහනුවරමයි. වසර එක්දහස් නවසිය හැටේ අගෝස්තු තුන්වෙනිදා ෂෙන්බගවල්ලි මවටත් රාමචන්ද්‍ර පියාටත් දාව උපදින සෝමස්කන්ධ සාමාන්‍ය පෙළ දක්වා මහනුවර දී ඉගෙන ගැනීමෙන් උසස් පෙළ හැදෑරීම සඳහා යාපනයට යන්නේ ඉන්දියානු සම්භවයක් ඇති ඥාතීන් එහි පදිංචිව සිටින නිසයි. උපාධිය හැදෑරීම සඳහා චීනයට යන ඔහු ඉංජිනේරුවෙක් වන්නේ චීනයේදීමයි.
“මං ඉස්සර හරිම ආසයි ඉගෙන ගන්න. ඒ පුරුද්දට ද මන්දා මගේ දුවලා පස්දෙනත් ඉහළින්ම සමර්ථ වන විදිහට ඉගෙන ගත්තා. එක දුවක් හැරුණ කොට දුවලා හතර දෙනාම විදේශගත වෙලා ඉන්නේ…
මගේ බිරිඳ බ්‍රාහ්මණ කුලයේ. ඇය නමින් චාරුමති. ඇය හරිම බලවත් ශක්තිවන්ත කාන්තාවක් කියලා මම දන්නවා. මං වගේම දෙවියන්ට බුදුන්ට හැම ආගමකටම භක්තිවන්ත ලෙස සලකනවා. මට ඒ ලොකු ශක්තියක්.
අපේ පවුලේ හැම දෙනාම මා ළඟ රැඳිලා ඉන්න හැමදෙනාම මස් මාංශ ආහාරවලින් තොර වෙලා ඉන්නේ. කෙටියෙන්ම කියනව නම් අපි හැමදාම පේ වෙලා ඉන්නේ.
මගේ ලොකු දුව සත්තුන්ට හරිම කැමතියි. එයා පාරේ දාලා යන සත්තුන් ගෙදර ගෙනල්ලා හැදුවා. දවසක් එයා ඒ විදිහට හදපු එක පූසෙක් අසනීප වෙලා කන්නෙ බොන්නෙ නැතුව මැරෙන්න වැටිලා හිටියා. මෙයා බෙහෙත් අරන් දෙන්න ගියහම දොස්තර මහත්තයා කියලා තිබුණා පූසා විජලනය වෙලා ඉන්නේ කියලා. වතුර බිව්වෙ නැත්නම් ජීවිතයේ අවදානම් කියලත් කියලා තිබුණා. මෙයා දුවගෙන ඇවිල්ලා දේවාලෙට වඳින්න යනකොට අපි දේවාලෙ වහලා ගෙදර ඇවිත් හිටියේ ආයිත් එයා පූසාව වඩාගෙන අඬ අඬා ගිහින් දේවාලේ භූමියේ තියෙන බුදු මැදුරේ බුදු හාමුදුරුවන්ගේ පිළිම ඉස්සරහා පූසවත් තියාගෙන වැඳගෙන කන්නලව් කරනවා වගේ දුක කිය කියා හිටියා. පැය බාගෙකට විතර පස්සේ පූසා ඔඩෙක්කෙන් බැහැලා ගිහින් මල්ආසනය උඩ තිබ්බ පැන් භාජනයෙන් වතුර බිව්වා. එදා ඉඳන් දුව බුදුන් වහන්සේගේ දයානුකම්පාව හිතේ පුරවගෙන පුදුම භක්තියකින් කටයුතු කරන්නේ.
අපි හැමෝම පුද පූජා වතාවත් කරන්නේ ශ්‍රද්ධාවෙන් භක්තියෙන්. දෙවියන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන භාවනා කරනවා කියන්නේ හිතට ලොකු ශක්තියක් ධෛර්යක් ලැබෙනවා කියන එක.

මම විශ්වාස කරනවා මගේ ජීවිතය අවස්ථා කිහිපයකදීම ආරක්ෂා කරලා දුන්නේ දෙවියන් වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් කියලා.
අපි හැම අවුරුද්දකම දෙසැම්බර් මාසේ ඇවිදින්න යනවා. 2006 වසරේ අපි ඇවිදින්න යන්න සැලසුම් කරලා හිටියේ මුහුදුබඩ තීරයේ දකුණු පළාතට. එදා උදේ වාහනේ ගෙදරින් එළියට යනකොටම රෝදේ පුපුරලා හුළං ගියා. බිරිඳ නිකමට වගේ කීවත් ඒකනං එච්චර සුබ ලකුණක් නෙවෙයි කියල මම ඕවා ගණන් ගන්න හොඳ නෑ කියල කොහොම හරි ටයිර් එක දාගෙන ආපහු පිටත් වුණා. යන්න පුළුවන් උනේ කොළඹ වීදියේ කොටසකට විතරයි… එතනදි වාහනය නතර වුණා ආයේ හොලවන්නවත් බැරි විදිහට. බිරිඳ කිව්වා මේ ගමන යන්නැතුව නවතිමු කියලා. පහුවදා උදේ ආරංචි වුණා සුනාමි රළ ඇවිල්ලා හැමදේම විනාශ කරලා කියලා. මම විශ්වාස කරනවා එදා දෙවියෝ අපේ ජීවිත බේරුවා කියලා.
ඔය වගේම තවත් සිද්ධියක් තියෙනවා මාලිගාවට බෝම්බ ගහපු දවසේ. මම හැමදාම උදේ පුරුද්දක් විදිහට පහමාරට විතර වැව රවුමෙන් ඇවිදලා ව්‍යායාම කරලා මාලිගාව ඉදිරිපිට වාහල්කඩ ළඟට ගිහින් මාලිගාවට වඳිනවා. එදා වගේ පුරුදු විදිහට ඇවිදලා ව්‍යායාම කරලා මාලිගාවට වඳින්න හැරෙද්දිම ගෙදර යන්නම හිතුනා. අවශ්‍යතාවයකුත් ඇතිවුණා. ඒ පාර මම වඳින එක පැත්තකින් තියලා ගෙදර ගියා ගෙදරට ඇතුළු වුණා විතරයි මහා පිපිරුම් සද්දයක් ආවා, ඒ අර බෝම්බය පුපුරපු අවස්ථාව.
මේ වගේ අහඹු සිදුවීම්වලින් ජීවිතය බේරුණු අවස්ථා එමටයි.
ඒ හැම අවස්ථාවකම මම විශ්වාස කළා දෙවියන් අපිව ආරක්ෂා කරනවා කියලා.
සමන්ති වීරසේකර
Saru FM Media