මල් කැකුළු පූදින්නට පෙර මිලිනව යන්නට ඉඩ නොතබන්න ….

0
10


ඈත ආකාසේ පායන දේදුන්නක් දිගේ සුරංගනා ලෝකයට යන්න, කුරුල්ලෙක්ගෙන් පිහාටු ඉල්ලගෙන ඈත ආකාසේ පියාසර කරන්නට පෙරුම් පුරන, මල් වල පාට තවරන අමුත්තා සොයන , ආකාසෙන් මහ වැසි ඇද හැලෙන විට සුරංගනාවන්ට නාඬා ඉන්න ගී ගයන පුංචි හිත් තියෙන දරු පැටවුන් සිත් කොයි තරම් නම් නිර්ව්‍යාජද , අවිහිංසකද? දරුවන් මල් වලට උපමා කර ඇත්තේ ඔවුන්ගේ  ඒ අවිහිංසකත්වය, සුන්දරත්වය හා නිර්ව්‍යාජත්වය නිසාවෙන්මය. දෙමාපියන්ගේ ඒකායන අරමුණ පැහැබර, සුරක්ෂිත අනාගතයක් තම දරුවන්ට ලබා දීමය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම  අන්තර්ජාලය ඔස්සේ අසන්නට දකින ලැබෙන පුවත් හරහා කියැවෙන්නෙ පූදින්නට පෙරම මල් පොහොට්ටු තලා පෙලා දැමු පුවත්ය. මිනිසුන් අතර හිඳින නොමිනිසුන් පිළිබඳ පුංචි පැටවුන්ට අවබෝධයක් නැත. වර්තමානයේ සාහසික මිනිසුන්ගේ දෑත් වලින් මේ අවිහිංසක මල් කැකුළු වල ජීවිතය තීරණය කරන අවස්ථා අපට අසන්නට දකින්නට සිදුවීම අපගේත් අවාසනාවය. ආදරණීය දෙමාපියනි දරුවා සුරක්ෂිත කිරීම ඔබගේ යුතුකම සේම වගකීම බවද සිහියෙහි තබා ගන්න.

තාක්ෂණික දියුණුවත් සමගම සමාජ බැඳීම් වල වටිනාකමක් නොදැනෙන නොහැඟෙන පරිදි මිනිසුන්ද යාන්ත්‍රීකරණය වී ඇත. පියා තමන්ගේම දියණිය, පුතු නොහඳුනන , පුතු මව, තම සහෝදරිය නොහඳුනන සීයා මිනිපිරිය ,මුණුපුරා නොහඳුන සමාජයක පිටස්තරයන් කෙරෙහි කෙසේ නම් විශ්වාසය තබන්නද? දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේදී 95% පමණ සිදුව ඇත්තේ දෙමාපියන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් අතින්ම බව ඔබ දන්නවාද? තම හිතවත්ම ඥාතීන් අතින් , සමීපව ආශ්‍රය කරන පියාගේ හෝ මවගේ මිතුරන් හෝ මිතුරියන් අතින් , දරුවා බලා ගැනීමට පැමිණෙන සේවක සේවිකාවගෙන් තමන්ගේ දරුවා අපයෝජනයට ලක් විය හැකිය. ලිංගික වශයෙන් තවත් කෙනෙකු හිංසනයට පත් කරන තැනැත්තා හෝ තැනැත්තිය මානසික රෝගියෙක්ය. එනිසාම වයස, අදාල පුද්ගයා සමග ඇති ඥාතීත්වය පිළිබඳ හැඟීමක් ඔවුන් වෙත නැත.

පවුලේ සමීපතයන් දරුවන් සුරතල් කිරීම, ඔවුන්ට ආදරය කිරීම, ඔවුන් සමඟ තනිවම කාලය ගත කිරීමට වැනි කාරණා පිළිබඳ දෙමපියන් කිසි විටකත් සැකයක් පහළ නොවීම ප්‍රධාන හේතුවයි. ලිංගික අපයෝජනය පිළිබඳ කිසිත් නොදන්නා දරුවන්ව පහසුවෙන් එම කාර්යයන්ට අවනත කරගෙන ඇබිබැහි කරගැනීමට ඔවුන් සූක්ෂමය.

ළදරුවෙකුට මාස 6 දී පමණ ප්‍රථම වරට තම පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් ජනිත වීම සිදු වේ. ළදරුවා රැක බලා ගන්නා කෙනා තමන් අසල නැති විට ඔවුන් හඬාවැටෙන්නේ මෙම  හැඟීම ජනිත වන නිසාවෙන්ය.එසේම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, පිඟන් කෝප්ප තමන්ට වෙන් කරගන්න ඔවුන් දිනෙන් දින උත්සුක වේ. සෑම මනුෂ්‍යයෙකුටම පෞද්ගලිකත්වයක් ඇත. තමන්ගේ ශරීරයේ හිමිකාරිත්වය පිළිබඳ සියළුම වගකීම් හිමිවන්නේ තමන්ටමය. මෙය පෞද්ගලිකත්වය බව වටහා ගන්නට තරම් කුඩා දරුවන්ට අවබෝධයක් නැත. එනිසා ඒ බව වටහා දීමේ වගකීම පැවරෙන්නේ දෙමාපියන්ටය.

සාමාන්‍යයෙන් වයස අවු. 2 ක් 2 ½ පමණ වන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව පවතී. බොහෝ විට දරුවන් සමග කාලය ගත කරන්නේ මවය. එනිසා දරුවාට  දරුවාගේ ශරීරයේ වටිනාකම කියා දෙන්නට මවට හැකිය. මේ සඳහා සුදුසු වෙලාව ලෙස දරුවා නෑවීම, ඇඟ සේදීම වැනි කාර්යයක් කරන අවස්ථා තෝරාගන්න.

“පුතේ මේ ඇඟ අයිති ඔයාට විතරමයි. අම්මා තාත්තා ආච්චි අම්මා ඇරෙන්න ඔයාගේ ඇඟ අත ගාන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා. අපි ඇඳුම් අඳින්නේ ලැජ්ජ නිසානේ. ඒක නිසා ඔයාගේ ඇඳුම් කාටවත්ම ගලවන්න දෙන්න එපා. ඉතිං කවුරු හරි ඔයාගේ ඇඳුම් අයින් කරන්නේ ඔයාට රිද්දන්න වෙන්නත් පුළුවන්. පුතාගේ මේ චූ දාන පැත්ත කක්කි දාන පැත්ත කාටත්ම අල්ලන්න දෙන්න එපා. එහෙම ඇල්ලුවොත් මගෙ පැටියා අම්මට කියන්න. නරක මාමාමලා ,නැන්දලා ,අයියලා ,අක්කලා පුංචි ළමයින්ව බය කරලා නරක වැඩ කරනවා. ඒක නිසා කිසිම වෙලාවක එයාලට බයේ එයාලා කරන නරක දේවල් අම්මට කියන්නෙ නැතිව ඉන්න එපා. ඔයාව බලාගන්න අම්ම ඉන්න නිසා කාටත්ම බය වෙන්න එපා.”

මේ ආකාරයට සරලව දරුවාට තම ස්වයං ආරක්‍ෂාව පිළිබඳ වැටහීමක් වගේම මවගේ රැකවරණය පිළබඳව විශ්වාසයත් ඇති කරවන්න. සතියකට වරක්වත් දරුවන්ට මේ සරල පැහැදිලි කිරීම සිදු කිරීම තුලින් දරුවන්ට තම ආරක්‍ෂාව පිළිබඳ හැඟීමක් ඇති වනු ඇත.

වැඩිහිටියන් දරුවන්ට සලසන රැකවරණය තුල යම් හිඩසැක් මතු වූ සැනින් දරුවන්ට විය හැකි හානිය අතිමහත්ය.මල් කැකුළු තැලී පොඩීවී ගිය පසු හඬා දොඩා පලක් නැත. මල් කැකුළු  තැලී පොඩීවී යන්නට මත්තෙන් නිරන්තරයෙන්ම දෑස් මෙන් රැක බලා ගත යුතුය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන අපටමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here